Thursday, April 23, 2026
Homeදේශීයදැන් හැදෙන වෛරස් උණ මාරාන්තික විය හැකියි

දැන් හැදෙන වෛරස් උණ මාරාන්තික විය හැකියි

මේ දිනවල සිඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය ස්වසන පද්ධතියට අබාධ ඇති කර හැකි බව වෛද්‍යවරුන් අනතුරුව අඟවනවා.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව,ඇඟපත වේදනාව සමඟ ඇතිවෙන උණ මෙහිදී දක්නට ලැබෙනවා.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් රට තුළ ඉහළ ගොස් ඇති තත්වයක මෙලෙස ඇති වෙන උණ ඇතැම් විට ඩෙංගු රෝගය නිසා ඇතිවන උණ විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

කොවිඩ් 19 වෛරසය ඇතුලු තවත් ශ්වසන වෛරස රැසක් අවට පරිසරයේ තිබිය හැකි නිසා උණ ඇතිවූ විට නිවසේදීම කළ යුතු දෑ හඳුනාගෙන සිටීම ඉක්මන් සුවය ලැබීමට වඩා වැදගත් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඔබට හෝ සමීපතමයෙකුට උණ ඇතිනම් හොඳින් දියර වර්ග ලබාගනිමින් විවේකීව සිටීම වැදගත්. පානීය ජලය පමණක් නොව කැඳ, සුප්, තැඹිලි වැනි ඛනිජ ලවණ අඩංගු පාන වර්ග ඔබට ලබාගත හැකි නම් වඩාත් සුදුසුයි. එමෙන්ම ශරීරයේ දියර මට්ටම ඉක්මනින් ඉහළ නංවන සහ පහසුවෙන් සකස් කරගත හැකි පානයක් වන ජීවනී පැකට්ටුවක් නිවසේ තබාගත හැකිනම් මෙවන් මොහොතක ඔබට එය ක්ෂණිකව පිළියෙල කරගෙන භාවිතා කල හැකියි. පෝෂණීය ආහාරවේලක් ලබාගැනීමත් ඉක්මන් සුවයට උපකාරයක්. උණට සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් නිසි මාත්‍රාවෙන් ලබාගැනීම කල හැකියි.

ඔබ වයස්ගත පුද්ගලයෙකු , ගැබිණි මවක හෝ වෙනත් නිධන්ගත රෝගයකින් පෙළෙන අයෙකු නම් උණ ඇති වූ පළමු දිනයේදීම වෛද්‍ය උපදෙස් ලබාගැනිම වැදගත්. එසේ නොමැති නිරෝගී අයෙකු වුවත් දින දෙකකට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාරවෙත යොමුවීම සුදුසුයි.

කිසිදු හේතුවක් නිසා පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබාගැනීම නොකලයුතුයි. ප්‍රතිජීවක ( ඇන්ටිබයොටික් ) වෛද්‍ය නිර්දේශයක් මත පමණක් සම්පූර්ණ මාත්‍රා ගණන ලබාගත යුතු අතර ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධත් වෛද්‍ය නිර්දේශ රහිතව ලබාගැනීම අනතුරුදායකයි.

ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට උණ සුවවීමෙන් පසුව කල්පවතින කැස්සක් ඇතිවනබව නිරීක්ෂණය වී තිබෙනවා. මෙවන් තත්වයන්ට වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ඉන්හේලර් ( Inhaler ) හෝ වෙනත් ඖෂධ කෙටි කාලයකට අවශ්‍ය විය හැකියි.

READ:   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook පිටුව හැක් කෙරේ

වෛරස මගින් බෝවන ශ්වසන රෝග වළක්වාගැනීම ගැන ඔබ දැනටමත් දන්නා නිතර දෑත් පිරිසිදු කරගැනීම, මුහුණු ආවරණ පැළඳීම, හැකි හැමවිටම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, කහින කිවිසින විට වැළමිටේ ඇතුල්පැත්තට හෝ ටිෂූ කඩදාසියකට එය පිටකිරීම වැනි ක්‍රමෝපායන් භාවිතා කිරීම මඟින් හැකියාව ලැබෙනවා. ඩෙංගු ආසාදන වළක්වා ගැනීමට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මදුරු දශ්ඨනයෙන් වැළකීම ඉතා වැදගත්. මී උණෙන් වැළකීමේ වැදගත් පියවරක් ලෙස ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයෙන් (MOH) ලබාදෙන ඖෂධ ලැබෙන උපදෙස් පරිදි කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන කාල සීමාව තුල ලබාගැනීම, සඳහන් කරන්නට පුලුවන්.

මේ සියලු රෝග තත්වයන් හැකිතාක් වළක්වා ගැනීමටත්, ‍යම් හෙයකින් ආසාදනයට ලක් වුවහොත් සුදුසුම ක්‍රියාමාර්ගය නොපමාව ගැනීමට මෙන්ම සංකූලතා වළක්වා ගැනීමටත් මේ දැනුම ඔබට ඉවහල්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍රය – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්