වසරේ පළමු පසළොස්වක පුන් පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දිනය අදට (06) යෙදී තිබෙනවා.
ලංකාවාසී බෞද්ධ ජනතාවට වඩාත් වැදගත් වන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අද වැනි පොහෝ දිනකයි. බුද්ධත්වයෙන් නව වැනි මස බුදු රජාණන් වහන්සේ ප්‍රථම වතාවට මහියංගනයට වැඩම කොට සම්බුදු පා පහසින් ලක්දෙරණ පූජනීය භාවයට පත්වූ අතර යක්ෂ ගෝත්‍රිකයින්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම සිදු විය.
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා නිධන් කර ඉදිකරන ලද පළමු දාගැබ වන මහියංගන දාගැබ ඉදිවීමද සිදුවූයේ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයෙන් පසුවයි.
බුදුන් වහන්සේ උරුවෙල දනව්වට වැඩම කොට තුන්බෑ ජටිලයන් ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා නිර්වාණ මාර්ගය තුළ හික්මවීම ආදී ශාසනික වශයෙන් ඉතා වැදගත් කාරණාවන් රාශියක් සිදුවූ දුරුතු පුන් පොහෝ දිනය ලොව පුරා බෞද්ධ බැතිමතුන් මහත් හරසරින් යුතුව සමරණු ලබයි.


