විදුලි බල මණ්ඩලය අතීතයේ සිට ලබා ඇති පාඩු පියවා ගැනීම සඳහා විදුලි බිල වැඩිකරනවා යැයි කීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කරනවා නම් මීට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි කළ යුතු බව අමාත්‍යවරයා පැවසුවා.
විදුලි බිල වැඩිකරන්නේ 2023 වර්ෂයේ විදුලි උත්පාදන වියදම පියවා ගැනීමට මිසක් විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
2023 වසරේදී ගණන් බලා ඇති ආකාරයට විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා යන මූලික වියදම පියවා ගැනීමට විදුලි ඒකකයක් සඳහා රුපියල් 48.42 ක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
සමාන්‍ය විදුලි ඒකකයක් සඳහා ගණන් බලා ඇති වියදම රුපියල් 48.42 ක් වූවත් දැනට විදුලි ඒකකයක් සඳහා අයකරන මුදල රුපියල් 29.14 ක් වීම නිසා නිසා රුපියල් බිලියන 278 ක පමණ හිඟයක් ඇතිව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එම රුපියල් බිලියන 278 හිඟය පියවා ගැනීම සඳහා පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එලෙස විදුලි බිල වැඩි නොකර සිටිනවා නම් පැය කිහිපයක විදුලි කප්පාදුවක් එක්ක ජන ජීවිතය ගොඩ නඟා ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.


