Wednesday, April 15, 2026
Homeදේශීයපොලීසිය හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගමන්ගත් තරුණිය මිය යයි

පොලීසිය හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගමන්ගත් තරුණිය මිය යයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට පිහිටි මත්පැන් හලක් බිඳ මත්පැන් සොරා ගනිමින් සිටි කල්ලියකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කොල්ලකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා ඇති අතර, පොලිසිය තැබූ එක් වෙඩිල්ලක් මාර්ගයේ ගමන් කරමින් තිබුණු මගී බස් රථයකට වැදී එම රථයේ ගමන් කරමින් සිටි තරුණියක් ඊයේ (02) අලුයම මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අනුරාධපුර වන්දනාවේ ගොස් සිය සහෝදරයා සහ සහෝදරයාගේ බිරිය සමඟ ගමන් කරමින් සිටි ඉරේෂා ශ්‍යාමලී නමැති කාන්තාවකි. ඇය බෙන්තොට හබුරුගල වන්නිගහවත්තේ පදිංචිකාරියකි.

මධ්‍යම රාත්‍රී 12.00ට පමණ ඔවුන් මෙම ලංගම බස් රථයට ගොඩවී ඇති බවත් පසු පස අසුනේ ඔවුන් අසුන් ගෙන සිට ඇති බවත් පොලිසිය කියයි. කොල්ලකරුවන්ට වෙඩි තබන අවස්ථාවේදී එම ස්ථානයෙන් වේගයෙන් බස් රථය ගමන් කර ඇති අතර, එහිදී එක් වෙඩිල්ලක් බස් රථයේ පසු පස වීදුරුව බිඳගෙන ගොස් ඇගේ හිසට වැදී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම වෙඩිල්ල වදින විට ඇයත් ඇගේ සහෝදරයා ඇතුළු බස් රථයේ ගමන් කරමින් සිටි වැඩි දෙනෙක් නිදාගෙන සිට ඇති අතර, සහෝදරයාට නිට්ටඹුවේදී ඇහැරී ඇත්තේ ඇගේ හිසින් ගලා යමින් තිබූ රුධිරයෙන් අසුන් තෙත්වන විට බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අවස්ථාවේදී සහෝදරයා විසින් කෑ ගසා බස් රථයේ රියැදුරුට මේ ගැන පවසා ඇති බවත් ඒත් එක්කම බස් රථය වතුපිටිවල රෝහලට රැගෙන ගොස් තිබෙන බවත් පොලිසිය කියයි. ඒ යන විටත් එම තරුණිය මියගොස් සිට ඇත. පොලිසිය පවසන්නේ ඇය නින්දේදීම මියගොස් ඇති බව පෙනී යන බවයි. වෑන් රථයේ සිටි කොල්ලකරුවන් දෙදෙනාට ද වෙඩි වැදී ඇති අතර, ඔවුන් වෙඩි කාගෙනම පලා ගොස් තිබේ.

එම වෑන් රථය පසුව හමුවන්නේ වෙඩි ප්‍රහාරය එල්ල වුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 54කට එහා පිහිටි එඬේරමුල්ල විදුලි ආලෝක සංඥා පද්ධතිය අසල දමා ගොස් තිබියදීය. වෑන් රථයද මහනුවරින් සොරාගත් එකක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. වෙඩි වැදී බරපතළ තත්ත්වයේ සිටි වෑන් රථයේ සිටි දෙදෙනා ත්‍රිරෝද රථ රියැදුරෙක් විසින් රාගම රෝහලට ඇතුළත් කර ඇති බව ද සඳහන්ය. ඒ වන විට දංඕවිට පොලිසිය මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුම්වත් කර තිබීම හේතුවෙන් රාගම රෝහලට වෙඩි වැදී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. ඔවුන් දෙදෙනාටම ශල්‍යකර්ම සිදු කර ඇති බවත් ඔවුන් වත්තල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි. මෙම අපරාධකරුවන් දෙදෙනාව රෝහල් ගත කළ ත්‍රිරෝද රථ රියැදුරුව පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු සහ මෙම අපරාධකරුවන් අතර යම් සම්බන්ධයක් තිබේ දැයි විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි. අපරාධකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් දෙසට ගිනි අවියක් දිගු කළ බැවින් එම අවිය ගැනද ත්‍රිරෝද රථ රියැදුරුගෙන් ප්‍රශ්න කෙරෙන බව පොලිසිය කියයි. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම කල්ලිය රට පුරා සැරිසරමින් රාත්‍රී කාලයට වෙ‍ෙළඳ ආයතන බිඳ දේපොළ සොරා ගනිමින් සිටින බවය. මෙම කල්ලියේ සාමාජිකයෙක් මෑතකදී නවගමුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කෝටියකට අධික භාණ්ඩ සොයාගෙන තිබුණි. ඔහු සමඟ සොරකම්වලට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනාව එහිදී නවගමුව පොලිසියට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් පොලිසියට කට්ටි පනිමින් සිට ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

READ:   දින තුනක් තුළ වී මෙට්‍රික් ටොන් 844 ක් මිල දී ගනි - වී අලෙවි මණ්ඩලය

මෙම සොරුන් දෙදෙනා වෑන් රථයේ නැඟී කුරුණෑගල ප්‍ර‍ෙද්ශයේ පිහිටි ටයර් අලෙවි සැලක් ද බිඳ එන අතරතුර දංඕවිට පිහිටි මත්පැන් අලෙවි සැල බිඳ තිබෙන බව පොලිසිය කියයි. වෑන් රථයේ තිබී ටයර් රැසක්ද මත්පැන් බෝතල්ද පොලිසියට හමු වී ඇත. මත්පැන් හල පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් දහයක් පහළොවක් ඇතුළට වෙන්නටය. වෑන් රථය ඔවුන් මාර්ගය දෙසට මුහුණලා නතර කර තිබී ඇත්තේ පිටුපස කොටස මත්පැන් හලේ දොර පැත්තට තබාය. මත්පැන් හලේ දොරගුළු කඩා ඊට ඇතුළු වී ඇති සොරුන් මුලින්ම කර ඇත්තේ ඒ තුළ ඇති සේප්පුව බිඳීමට උත්සාහ දැරීමකි. එය ව්‍යර්ථ වූ තැන සේප්පුව ඇදගෙන විත් වෑන් රථයට පටවා ගැනීමට උත්සාහයක ද නිරතව ඇති බවට සලකුණු ඇති බව පොලිසිය කියයි. මත්පැන් හල අසල මොවුන් දෙදෙනා බොහෝ වේලාවක් රැඳී සිට ඇති අතර, ඒ බව යම් පුද්ගලයෙක් දංඕවිට පොලිසියට දැනුම් දීමක් කර තිබේ. එහිදී වහාම ක්‍රියාත්මක වූ දංඕවිට පොලිසියේ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරතවූ නිලධාරීන් කණ්ඩායමක් පොලිසියේ ත්‍රිරෝද රථයේ නැඟී එම ස්ථානයට පැමිණ තිබේ. පොලිසිය එහි එන විට වෑන් රථය තිබී ඇත්තේ ඇන්ජිම ක්‍රියාත්මකව බවත් රියැදුරු, රියදුරු අසුනේ සිට ඇති බවත් පොලිසිය කියයි. මෙහිදී පොලිසිය දුටු ඔවුන් කලබල වෙමින් වෑන් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කර ඇති බවත් ඉස්සරහට ආවොත් වෙඩි තබනවා යැයි එක් අයෙක් කෑ ගසමින් ගිනි අවියක් වැනි යමක් වෑන් රථයෙන් පිටතට දමා තිබෙන බවත් පොලිසිය කියයි. එහිදී පොලිස් නිලධාරීන් ආරක්ෂක පියවර අනුගමනය කරමින් එක් නිලධාරියෙක් තමන් අත වූ ටී 56 අවියකින් පලා යමින් සිටි වෑන් රථය දෙසට වෙඩි තබා තිබෙන බවත් පොලිසිය සඳහන් කළේය. වෑන් රථය ඉතා වේගයෙන් ගමන් කර ඇති අතර, පොලිස් නිලධාරීන්ට එම වේගයට ත්‍රිරෝද රථයෙන් හඹා යාමට නොහැකි බැවින් අවට පොලිස් ස්ථාන වෙත මෙම වෑන් රථය ගැන තොරතුරු ලබා දී තිබෙන බව සඳහන්ය.

READ:   එදා බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් මෙන්ම හින්දු ඉස්ලාම් කතෝලික ආගමික බැතිමතුන් වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශ පැවැතිය- විපක්ෂ නායක

ගම්පහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් එක් විමර්ශනයක් ද රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක අබේරත්න හා පොලිස් කොස්තාපල් ප්‍රියංකර යන මහත්වරු ප්‍රමුඛ තවත් විමර්ශන කණ්ඩායමක් ද වැඩිදුර විමර්ශන පවත්වති.

ගයාන් කුමාර වීරසිංහ, කෑගල්ල දිස්ත්‍රික් සමූහ

දයාරත්න බණ්ඩාර, වේයන්ගොඩ විශේෂ,

අයි.එම්.වී.චන්ද්‍රසිරි ගුණසේකර – ඇල්පිටිය සමූහ

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්