
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
මෙම පුද්ගලයා 43 හැවිරිදි වියේ පසුවන උගන්ඩාවේ ගොවියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි .
ඔහු උගන්ඩාවේ සිට ගිනි රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට කැසබේලංකා රාජ්‍යය වෙත පැමිණ තිබේ . ඉන්පසුව ඔහු කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොහු පිළිබඳව ඇති වූ සැකය මත කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ දොරටුව අභියස දී ප්‍රශ්න කිරීමක් සිදු කර තිබූ අතර , පසුව ඔහු ගුවන් තොටුපළ පරිලෝකන යන්ත්‍රයක් වෙත යොමු කිරීමේදී , ඔහුගේ ආමාශය තුළ කොකේන් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බව අනාවරණය වී තිබේ .
ඉන්පසුව මෙම උගන්ඩා ජාතිකයා අත් අඩංගුවට ගත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , මොහුගෙන් වැඩිදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සිදු කරත්දී , ඔහු රුපියල් කෝටි පහක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 80 ක් පමණ ගිල දමා පැමිණ ඇති බව ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට එසේ ගිල දමා ඇති කොකේන් ගුලි අතරින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 17 ක් පමණ එළියට ගෙන තිබේ .
ඉන්පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම උගන්ඩා ජාතිකයා සහ ඔහු එළියට දමා ඇති කොකේන් ගුලි තොගය ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
ඔවුන් මේ වනවිට මෙම උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර , එහිදී එම රෝහලේ වෛද්‍යවරුන් , මෙම උගන්ඩා ජාතිකයා හට විරේක බෙහෙත් ලබා දෙමින් , ඔහුගේ ආමාශය තුළ තවදුරටත් ඉතිරි වී ඇති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීම සදහා ප්‍රයත්න දරමින් සිටිති .
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත


