දේශීය

සීදුව වෑත්තෑවේ විහාරාධිපති හිමි ඝාතනයට සැක ගෝල හිමි ගුවන්තොටේදී කොටු වෙයි

ඝාතනය වූ හිමි නම

  • ඝාතනය පසුපස පෙම්වතියගේ දෙමාපියන් සහ හාම්පුතා
  • ඩුබායි යන්න ආවේ පෙම්වතිය හමුවෙන්න
  • කොටු වුණේ 19 වැනි උපන් දිනය දවසේ
  • බැමි ලිහාගෙන පියගැට පෙළ බහිද්දී කාමරයකට දමා පහර දී ගෙල සිර කරලා
  • වාහන දෙක ලක්ෂ 135කට හා ලක්ෂ 54කට විකුණලා
  • 12 දා මහ දවල් උඩුමහලේදී පහර දීලා
  • ගෝල හිමි නම 17 දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

සීදූව වෑත්තෑවේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැදගමුවේ මහානාම හිමියන් ඝාතනයට සැක කරන ගෝල හිමිනම ඊයේ (15) අලුයම ඩුබායි බලා පලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. මේ ඝාතනයට සාමණේරයන් සමඟ ඔහුගේ පෙම්වතියගේ මවුපියන් සහ තවත් දෙදෙනකු සම්බන්ධ වී ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. හීනටියන පදිංචිකරුවන් වන ඔවුන් මේ වන විට පලාගොස් සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ වී ඇති සෙසු දෙදෙනා රැගෙන විත් ඇත්තේ එම අඹු සැමි යුවළ බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ අය කවුරුන්දැයි අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ අඹුසැමි යුවළ සහ සෙසු දෙදෙනා ගැන තොරතුරු පොලිසියට හෙළි කර ගැනීමට හැකි වී ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සැක කළ ඒකල සුගතසිරි නම් වූ ගෝල හිමියන් ඊයේ (15) අලුයම අත්අඩංගුවට ගැනීමත් සමඟිනි.

විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර පෙරේදා (14) සවස හමුවන විට ගෝල හිමියන් විහාරස්ථානයේ තිබුණු ඩිපෙන්ඩරයක් සහ වැගන් ආර් වර්ගයේ රථයක් සමඟ අතුරුදන් වී තිබීම හේතුවෙන් ඝාතනය සම්බන්ධයෙන් සැකය එල්ල වූයේ එම ගෝලහිමියන් වෙතය. එබැවින් උන්වහන්සේගේ ඡායාරූපයක් සමඟ තොරතුරු සීදූව පොලිසිය මඟින් ගුවන් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ දැනුම්වත් කර තිබී ඇත. ඒ අධිකරණය හරහා නියෝගයක් ගන්නා තුරුය.

මේ බව නොදත් උන්වහන්සේ ඊයේ (15) අලුයම 1.00ට පමණ ගුවන්ගත වීමට නියමිතව තිබුණු එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK-649 අංකය දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ 19 වැනි උපන් දිනය යෙදී තිබුණු දිනයේදීමය. ආගමන විගමන නිලධාරීන් විසින් අල්ලා ගුවන් තොටුපොළ පොලිසියට උන්වහන්සේව භාරදී ඇති අතර, පසුව සීදූව පොලිස් ස්ථානයට උන්වහන්සේව රැගෙන විත් තිබේ. එහිදී කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වන්නේ සිය පෙම්වතිය ඩුබායිහි රැකියාවක නිරතව සිටින බැවින් ඇය වෙත යෑමට උන්වහන්සේ සැලසුම් කරගෙන සිට ඇති බවය. උන්වහන්සේ ඩුබායි බලා පිටත්ව යෑමට සියල්ල සූදානම් කරගෙන ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ ඒ වෙනුවෙනි. ඒ සඳහා උන්වහන්සේට සහාය දී ඇත්තේ සිය පෙම්වතිය බවද අනාවරණය වී තිබේ. ඩුබායි ගොස් උන්වහන්සේ එහිදී සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කිරීමට සැලසුම් කරගෙන සිට ඇති බවද අනාවරණය වී තිබේ.

විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව අත්අඩංගුවට ගත් ගෝල හිමියන්ගේ පෙම්වතිය ඩුබායිහි රැකියාවක නිරතව සිටින්නේ ශ්‍රී ලාංකිකයකු ළඟය. විහාරාධිපති හිමියන් ඝාතනය කර දේපොළ අයිති කර ගැනීමට පෙම්වතියගේ මවුපියන්ව පොළඹවා ඇත්තේත් ඒ හරහා ගෝල හිමියන් එවැනි කටයුත්තකට උනන්දු කරවා ඇත්තේත් එම ශ්‍රී ලංකිකයා බවට තොරතුරුද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම පුද්ගලයා වෙනත් ආගමිකයකු බව පොලිසිය කියයි.

විහාරාධිපති හිමියන් වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවත් ඒ නිසා උන්වහන්සේ සතුව විශාල මුදලක් ඇති බවත් ගෝල හිමියන් පෙම්වතියට පවසා තිබී ඇත. ඇය මෙරට සිටියදී මෙන්ම ඩුබායි ගිය පසුවද ගෝල හිමියන් ඇය සමඟ දුරකතනයෙන් සම්බන්ධකම පවත්වාගෙන යමින් සිට ඇති බවද කියයි. ඒ බව විහාරාධිපති හිමියන්ද දැන සිට ඇත. ගෝල හිමියන් සැලසුම් කරගෙන සිට ඇත්තේ උන්වහන්සේ සතු මුදල් රැගෙන ඇය සමඟ පලා යන්නටය. දිගින් දිගටම ඒ වෙනුවෙන් විහාරාධිපති හිමියන් සමඟ ගෝල හිමියන් ගැටුම් ඇති කරගෙන ඇති බවත් දෙදෙනා අතර, වූ එම ගැටුම් සම්බන්ධයෙන් සීදූව පොලිසියට පැමිණිලිද රැසක් ලැබී තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

ගෝල හිමියන්ගේ පෙම්වතිය ඇගේ හාම්පුතාට සිය පෙම්වතා ගැන පවසා ඇති බවත් ඒ අනුව ඔහු විසින් විහාරාධිපති බිය ගන්වා මුදල් කොල්ලකන්නට මෙයට පෙර අවස්ථාවකදී ද පිරිසක් එවා ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එය ව්‍යාර්ථ වූ තැන පෙම්වතියගේ මවත් පියාත් ඊට මැදිහත් වී තිබෙන බවද පෙනී ගොස් තිබේ. හෙළිවී ඇති ආකාරයට අනුව විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සිදුව ඇත්තේ 12 දා දහවල් කාලයේදීය. අඹුසැමි යුවළ සහ ඔවුන් සමඟ පැමිණි දෙදෙනා උඩු මහලේ සිටි විහාරාධිපති හිමියන්ව සිය ග්‍රහණයට ගෙන පහරදී ගැට ගසා සිරකරගෙන මුදල් ඉල්ලමින් උන්වන්සේට හිරිහැර කර ඇත. ඒ බව හෙළිවන්නේ ගෝල හිමියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. අඹු සැමි යුවළ සමඟ පැමිණි දෙදෙනා මදකට විහාරස්ථානයෙන් පිටතට ගිය අවස්ථාවේදී විහාරාධිපති හිමියන් දෑත් දෙපා ලිහාගෙන උඩු මහලේ සිට කෑ ගසමින් පහළට දිවගෙන විත් ඇති බවත් එහිදී පහළ මහලේ සිටි අඹු සැමි යුවළත් ගෝල හිමියනුත් උන්වහන්සේව පඩිපෙළේදීම අල්ලා බිම පෙරළාගෙන පහළ මහලේ කාමරයකට දමා කටට රෙදි කැබැල්ලක් දමා කෑ ගැසීමට නොහැකි වන ලෙස ගෙල මිරිකාගෙන සිට ඇති බව ගෝල හිමියන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබේ. විහාරාධිපති හිමියන්ගේ කෑ ගැසීම් හඬ විහාරස්ථානය අවට නිවෙස්වලටද ඇසී ඇත. ඒ ගැන ඒ අවට පුද්ගලයන් විමසිලිමත් වීමේදී ගෝල හිමියන් පවසා ඇත්තේ ප්‍රශ්නයක් නැතැයි කියායි. මේ විහාරස්ථානය සමඟ ගම්වැසියන් එතරම් කිට්ටු සම්බන්ධයක් නැති බවද පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ විහාරස්ථානය සමඟ ගම්වැසියන් ඈත්ව සිටින නිසාය. ඒ නිසා ගම්වැසියන් කෑ ගැසීම් හඬ කෙරෙහි විශේෂ උනන්දුවක් නොදක්වා ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

විහාරාධිපති හිමියන් මියගොස් ඇති බව දැන ගැනීමෙන් පසු විහාරාධිපති හිමියන්ගේ මළසිරුර සිවුරෙන් වසා ඇඳ මත තබා ඇත්තේ අනතුරුවය. මළසිරුර සිවුරකින් වසා දමා කිසිවක් නොවුණු ආකාරයට ගෝල හිමියන් හැසිරී තිබේ. ඝාතනයට ලක් වූ හිමි නම මෙම ගෝල හිමියන්ව අවුරුදු පහේ සිට හදා වඩා ගෙන ඇති අතර දේපොළ ද ගෝල හිමියන්ට ලියා ඇති බව සඳහන්ය. මේ ගෝල හිමිනම කවි බණ දේශනා කිරීමට වැඩි නැඹුරුවක් දක්වන අයෙකි. වසර 10ක් තිස්සේම මේ විහාරස්ථානයේ වැඩ සිටින බවත් අනාවරණය වී ඇත. ඝාතනය වූ විහාරාධිපති නැදගමුවේ මහානාම හිමියන් කටාන කලාපයේ ගුරු උපදේශකයකු ලෙස කටයුතු කළ හිමිනමක් බවද පොලිසිය කියයි. විහාරාධිපති හිමියන් විසින් විකිණීමට තබාගෙන සිටි බව කියන ඩිපෙන්ඩර් රථය සහ වැගන් ආර් රථය අඹු සැමි යුවළ සිය භාරයට ගෙන වත්තල පැත්තේ බජී නමැති වාහන බ්‍රෝකර්වරයකුට දී ඇති බවද අනාවරණය වී තිබේ. එම කටයුත්ත සිදුවී ඇත්තේ ඩුබායිහි සිටින පෙම්වතියගේ හාම්පුතාගේ උපදෙස් මත බවට පොලිසිය සැක කරයි. ඩිපෙන්ඩරය ඔහුට විකිණීමට දී ඇත්තේ රුපියල් ලක්ෂ 135කටය. ඔහු එය ගම්පහ පැත්තේ අයකුට රුපියල් ලක්ෂ 150කට විකුණා ඇති බවද අනාවරණය වී තිබේ. එම ඩිපෙන්ඩරය මිලදී ගත් තැනැත්තා එය ඊයේ වන විට සීදූව පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගෙන ඇත. වැගන් ආර්. රථය විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ 54කටය. එම මෝටර් රථය මෙතෙක් හමුවී නැත. එය සොයා මේ වන විට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි. මේ වාහන දෙක අලෙවියෙන් ලද මුදල්වලට මෙතෙක් වූ දෙයක් සොයා ගැනීමට නැත. පොලිසිය සැක කරනුයේ කොටසක් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි වෙත පෙම්වතියගේ හාම්පුතා විසින් ගෙන්වාගෙන ඇති බවය. මේ වාහන දෙක අලෙවි කර ඇත්තේද ව්‍යාජ ලෙස පැවරුම් ලේඛන සකස් කර බවද පොලිසිය සඳහන් කරයි.

හෙළි වී ඇති ආකාරයට අනුව සැකකාර ගෝල හිමියන් ඩුබායි බලා යෑමට ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටල් කාමරයක රැඳී සිටීමෙන් අනතුරුවය. එම හෝටලයේම කාමරයක පෙම්වතියගේ මවුපියන්ද නවාතැන් ගෙන සිට ඇත. ගුවන්තොටුපොළට උන්වහන්සේ ඇරලවා ඇත්තේද ඔවුන්ය. ගුවන්තොටුපොළේදී උන් වහන්සේ අත්අඩංගුවට පත් වීමත් සමඟ එම අඹුසැමි යුවළ පලා ගොස් තිබේ. පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා කොටු කර ගැනීමෙන් පසු තවත් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකිවනු ඇති බවය. ඒ අනුව ඔවුන් කොටු කර ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට යොදවා ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ගෝල හිමිනම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 17 දා දක්වා පැය 48ක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට නියෝගයක්ද පොලිසිය ලබාගෙන ඇත. විහාරාධිපති හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණයද ඊයේ (15) පැවැත්විය. එම මරණය බාහිර යමක් උපයෝගී කරගෙන නාසය හා මුඛය වැසීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට නොහැකි වීමට සැලැස්වීමෙන් සිදු වූවක් බව මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චානක රණසිංහ මහතා විසින් එහිදී නිගමනය කර තිබේ.

බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිග්‍රේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දනුෂ්ක බණ්ඩා ඇතුළු නිලධාරීන් විසින් තවදුරටත් මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි.

ගයාන් කුමර වීරසිංහ, කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල, කටාන – බර්ටි වීරසිංහ

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

5 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

5 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

5 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

5 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

2 weeks ago