ජීවන බර හා බඩු මිල ඉහළ යෑම නිසා මෙරට ජනතාව කෑමට බීමට නොහැකි තත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
මෙරට ජනතාවට බෙහෙත් හේත් මිලදී ගැනීමට, දරුවන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමට නොහැකි කාලයක් පැමිණ ඇති බව පවසන එතුමා ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන රට වල් අතුරින් 6 වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණීම මෙරට ජනතාව පත්ව ඇති තත්වය පැහැදිලි කරන්නක් බව පෙන්වා දෙනවා.
විදුලි, ගෑස්, තෙල්, ජල බිල් මේ සියලු අර්බුද නිසා ජනතාව අද අර්ධ අපායකයට වැටී ඇති බව එතුමා ප්‍රකාශ කරනවා.
ව්‍යාපාර වැසීයෑම්, රැකියා අහිමිවීම් මෙන්ම ප්‍රධාන ආයතනයන් නුදුරේම වැහෙන තත්වයක් ද නිර්මාණය වී ඇති බව පවසන එතුමා මාළු කෑල්ලක් කන්න බැරි දූපතක්, දරුවන්ට අනාගතයක් නැති කාලකන්නි රටක් බවට, අද රට පත්ව ඇති බව පවසනවා.
ආණ්ඩුව සහ වගකීම් දරණ පුද්ගලයින්ට මේම ගැටළු තේරුම්ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවයි එතුමා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා විසින් ලාබ ලබන මෙරට ඉතිරි ආයතන ටිකත් ජාවාරම්කරුවන් සමඟ එකතුවී විකිණීමට සැරසෙන බවට ආරංචි ලැබී ඇති බව පවසන එතුමා එම ආයතනයන් අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සහ රක්ෂණ සංස්ථාව ද වන බව ප්‍රකාශ කර සිටිනවා.
ඩොලර් කෝටි 150 ක ගල් අඟුරු කොන්ත්‍රාත්තුවක් ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව අත්සන් කර ඇති බවත් එම ගල් අඟුරු සපයන ආයතන ප්‍රධානියා රාජපක්ෂ පවුලේ කෙනෙකු වන බවට තොරතුරු ලැබී ඇති බවත් ප්‍රකාශ කර සිටියා. අදාළ ජාවාරම සඳහා ප්‍රබල අමාත්‍යවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු ද සම්බන්ධ බවයි එතුමා පෙන්වා දෙන්නේ.
මෙරටට ගෙන්වන බොරතෙල් වල ප්‍රමිතිය 20 % කින් අඩු කර බාල බොරතෙල් ගෙන්වන බව ද එතුමා පවසනවා.
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ඉඩම් බෙදීම්, සමෘද්ධි ලබා දීම් .. ප්‍රයෝගික නොවු ප්‍රකාශයන් පමණක් බව පවසන මන්ත්‍රීවරයා එය හැමදාම කරන එකම කතාවක් පමණක් බව පවසනවා.
රට එකතැන පවතින බවත් ශ්‍රී ලංකාව ලෝකය සමඟ ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා පවසන්නේ නම් අවුරුදු 45ක කාලයක් මෙරට දේශපාලනයේ නියලුණු, පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනාධිපතිවරයා එලෙස රට එක තැන පැවැතීමට වගකිව යුතු පුද්ගලයෙකු ද වන බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙන්නේ.
අරගලයෙන් තොරව දූශිත දේශපාලකයන්ගෙන් රට බේරා ගත නොහැකි බව පවසන එතුමා අරගලයේ අරමුණ විය යුත්තේ දූෂිත දේශපාලකයන් මෙරටින් පන්නා දැමීම වන බව පවසනවා.
අරගලය ජනතාවගේ හදවතේ පවතින බවත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය හැමදාම ලබාදෙන බවත් එතුමා ප්‍රකාශ කළා.
අරගලයේ නියැලුණු දරුවන් අත්තඩංගුවට ගෙන හිරිහැර කිරීමට විරුද්ධව මෙරට නීතිඥ මහත්වරුන් පෙනී සිටින ලෙස, තමන් ඉතා බැගෑපත්ව මෙරට නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බව එතුමා පවසනවා.
වර්තමානයේ මෙරට පොලීසිය පිස්සෝ බල්ලෝ වගේ දරුවන්ට පහරදෙන, ඇදගෙන යන තත්වයට පත්ව ඇති බවත් පිම් පොකට් ගහන මාල කඩන දූෂිත පොලිස් නිලධාරීන් බිහිවී ඇති බවත් එතුමා පෙන්වා දෙනවා.
මුළු රටේම ජනතාව මර්දනයට එරෙහිව නැගි සිටිය යුතු බව පවසන මන්ත්‍රීවරයා පාර දිගේ දරුවන්ට ගහද්දි ජනතාව බලාගෙන සිටිම ලැජ්ජාවට කරුණක් වන බව පෙන්වා දෙනවා.
මර්දනය වෙනුවෙන් ජනතාව ඉදිරියට පැමිණිය යුතු බවත් කැපකිරීම් කළ යුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
රාජ්‍ය ත්‍රස්තවාදයට උදව්වෙන ආකාරයට, මෙරට තුළ රාජ්‍ය ත්‍රස්තවාදය සහ මර්දනය පවතින තාක් කිසිදු මුදලක් මෙරටට එවීමට කටයුතු නොකරන ලෙස එතුමා විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියා.


