දේශීය

මන්දිරවල ඇඟිලි සලකුණු ඇති කිසිවකුටත් රටින් පනින්න බෑ

නඩු වැටෙන විට බේරාගන්න උසිගන්වන අය එන්නේ නෑ

වැරදිකරුවකු වුණොත් පරම්පරාවටම රජයේ රැකියා නෑ

අරගලය ප්‍රචණ්ඩත්වය කරා ගියේ නීතිඥ සංගමයේ උත්තේජනයත් එක්කයි

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යැවූ පසු ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බව හිටපු මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.  යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවත් පැවසීය.

හිටපු ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ විදෙස් ගමන් බලපත්‍ර සැකසීමේදී ලබා ගැනෙන ඇඟිලි සලකුණු රටින් පිටව යෑමේදී සසඳා බැලෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි. හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුවේදි ඊයේ (27) එක් වෙමින් වීරසේකර මහතා මේ කරුණු පැහැදිලි කළේය.

ව්‍යවස්ථානුකූලව පත්වූ ආණ්ඩුවක් බලහත්කාරයෙන් පෙරළීම ඉතා බරපතළ වරදක් බවත් ඇතැම් දේශපාලන පක්ෂ හා මැර කණ්ඩායම් එක්ව පසුගිය දා කළේ එවැනි ක්‍රියාවක් බවත් වීරසේකර මහතා කියා සිටියේය. අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනය වෙනුවෙන් මේ වන විට සැකපිට 38 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඒ මහතා කීවේය. ජනාධිපතිවරයා එළවීම, මැරීම රාජ්‍ය විරෝධි ක්‍රියාවක් බව පැවසූ මන්ත්‍රීවරයා එවැනි අයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 198 යටතේ මරණ දණ්ඩනය පවා දිය හැකි බව පැවසීය.

අරගලයේ මුවාවෙන් කෙරෙන ප්‍රචණ්ඩත්ව වැළැක්වීමට හදිසි නීතිය ගෙන එන බව පැවසූ වීරසේකර මහතා හදිසි නීතියට බිය විය යුත්තේ මැර දේශපාලන කණ්ඩායම් පමණක් බවත් අවධාරණය කළේය. අරගලය ප්‍රචණ්ඩත්වය කරා යෑමට නීතිඥ සංගමයත් ආරම්භයේදී උත්තේජනයක් දුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට, උසාවියට බලපෑම් කරමින් විනිසුරුවරුන්ටත් තර්ජනය කරන තත්ත්වයක් අද උදා වී ඇති බවත් හෙතෙම කීවේය. තමන් උසි ගන්වන කිසිවකුත් නඩු වැටෙන විට බේරාගැනීමට නොපැමිණෙන බව නොමඟ යන, ප්‍රචණ්ඩත්වයට යොමු වන තරුණයන් සිහි තබා ගත යුතු බවත් වීරසේකර මහතා පැවසීය.

හිටපු ඇමැති සරත් වීරසේකර මහතා,

“1983 සිට වසර 28ක් තිස්සේ මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. ත්‍රස්තවාදය නිසා එවැනි දෙයක් තිබුණා. රටට කිසියම් තර්ජනයක් තිබේ නම් ඒ තත්ත්වය පොලිසියට පාලනය කළ නොහැකි නම් එම තත්ත්වය පාලනය කිරීමට හමුදාව අවශ්‍ය බවට සිතෙන්නේ නම් එවැනි අවස්ථාවකදී හදිසි නීතිය ගෙන එනවා. මහජන ආරක්ෂක පනත යටතේ එම නීතිය ගේනවා. දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට නොව ජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ නීතිය ගේනවා. ජනතාවගේ දේපොළ, නිවාස, වෙළෙඳසල්, ඒ වගේම රාජ්‍ය දේපොළ ආරක්ෂා කිරීමට හදිසි නීතියක් ගේනවා. සාමාන්‍ය නීතිය අභිභවා හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඕනෑම වේලාවක මේ නීතිය යටතේ හමුදාව කැඳවිය හැකියි. අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට පුළුවන්. ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට පුළුවන්. ඒ පනවා දින 14ක් තුළදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. වර්තමානයේ හදිසි නීතිය පනවන්නේ අරගලය නිසා. සාධාරණ හේතුවක් නිසා අරගලය ආරම්භ වුණා. එය වැරැද්දක් නැහැ. යහපත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට උද්ඝෝෂණ පැවැත්වූවා. ඉන්ධන රට තුළ නැති වුණා. විදුලිය, ගෑස්, භූමිතෙල් නැති වුණා. පාසල් වසා තැබුවා. රැකියා නැති වුණා. ඒ නිසා ජනතාවගේ කෝපය සාධාරණයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනවා. ඒ තුළ උද්ඝෝෂණ පවත්වන්න පුළුවන්. ජනතාවගේ පැවති ඒ සාධාරණ පීඩාවට දේශපාලන මැරයන් සම්බන්ධව ප්‍රචණ්ඩත්වය කරා ගෙන ගියා. රජය පෙරළන්න එමඟින් උත්සාහ කළා. එය ඉතා වැරැදි වැඩක්. ජනාධිපති නීතිඥ වලලියද්ද මහතා ඉතා හොඳ සම්මුඛ සාකච්ඡාවක් කළා. ඕනෑම උද්ඝෝෂණයක් පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තිබෙනවා. රජයට, දේශපාලනඥයන්ට බණින්න පුළුවන්. හොරා, තක්කඩියා, ස්ත්‍රී දූෂකයා කියලා කියන්න පුළුවන්. නමුත් රජයක් පෙරළීමට ඔවුන්ට උද්ඝෝෂණ පැවැත්විය නොහැකියි. ඒ වගේම ජනාධිපතිවරයා එළවීමට, මැරීමට උද්ඝෝෂණය කරන්න බැහැ. එසේ කළොත් එය රාජ්‍ය විරෝධි කැරැල්ලක් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 198 යටතේ මරණීය දණ්ඩනය වුවත් ඊට දිය හැකියි. ඒ බව එම ජනාධිපති නීතිඥවරයා කියනවා. ව්‍යවස්ථානුකූලව පත් වූ රජයක් කැරැල්ලකින් පෙරළන එක ඉතා බරපතළ වරදක්. එවැනි දෙයක් කිරීමට තමයි පසුගිය කාලයේ දේශපාලන කණ්ඩායම් මැර කණ්ඩායම් එක්ව උත්සාහ කළේ. ජනතා පීඩනය අසහනය උපයෝගි කරගෙන මැර කණ්ඩායම්වලට පොදු දේපොළ හානි කරවීමට, ගිනි තැබීමට, සොරකම් කිරීමට, මිනී මැරීමට පුළුවන් ද. අහිසංක අතුකෝරාල මන්ත්‍රීවරයා මරා දැමූ විදිය අපි දුටුවා. එය රටටම අපහාසයක්. මේ සිද්ධියට මේ වන විට 38ක් අත්අඩංගුවේ සිටිනවා. අරගලයේ මුවාවෙන් මන්ත්‍රීවරුන්ට ගහනවා නම්, පොදු දේපොළ හානි කරනවා නම් ඒ මිලේච්ඡත්වය නැති කිරීම සඳහා හදිසි නීතිය ගෙන එනවා. එවැනි තත්ත්වයක් උදාවිය හැකි බව බුද්ධි අංශ දැනුම් දෙනවා. මේ අරගලය ප්‍රචණ්ඩත්වය කරා ගෙන යෑමට නීතිඥ සංගමයත් ආරම්භයේදී යම් කිසි උත්තේජනයක් දුන්නා. ඒ ගැන අපි කනගාටු වෙනවා.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago