ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයිදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි. මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇතිවූයේ කෙසේදැයි කෙටියෙන් සඳහන් කළ යුතුය. මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට තිබෙන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය සහ වත්මන් ගෝඨා ආණ්ඩුවේ අමනෝඥ තීරණ සහ උද්ධච්ඡ කමයි.
රට ගැන හිතනවාට වඩා, ආර්ථික වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තියක් ගැන හිතනවාට වඩා බලයට කෑදරකමින් බලය සහ වරප්‍රසාද ඩැහැගන්නා ගේම් දේශපාලනය දැන් මෙරට දේශපාලන සංස්කෘතියයි. මොවුන් තට්ටු මාරු ක්‍රමයට මේ බලය විවිධ සරුවපිත්තල කතා කියමින් ඩැහැගන්නවා විනා කරන දෙයක් නොමැත.
මා දේශපාලනඥයෙකු වූයේ රැකියාවක් නැති නිසා නොවේ. ශ්‍රී ලංකාව කෙදිනක හෝ ලෝකයේ බබලන රටක් බවට පත්කිරීමට මාගේ උපරිම දායකත්වය ලබාදීම මාගේ අරමුණයි. ඒ වෙනුවෙන් අන්කවරදාකටත් වඩා ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇතැයි මා සිතමි. තරුණ පරම්පරාව ගතානුගතික දේශපාලන වහල් බැමි බිඳ දමා නැගී සිටිමින් ඇත.
ඔවුන් ඉල්ලා සිටින්නේ වංකත්වයෙන්, වංචා දූෂණ වලින් දේශපාලන ඩීල් වලින් තොර සැබෑ ලෙස රටට ආදරය කරන දේශපාලන සංස්කෘතියකුයි. එය අප සමාජ ක්‍රමයේ විප්ලවීය හැරවුමකි. ඒ තුළින් මේ රට නැවුම් මාවතකට හරවා රට දිනවිය හැකියැයි මා තරයේ විශ්වාස කරමි. මේ නිසා, හෘද සාක්ෂියට එකඟව මේ ජන රැල්ල මට පාවාදිය නොහැකිය. මට මුදල් අමාත්‍යවරයා වන්නැයි බොහෝ ඉල්ලීම් පැමිණියද මා එයට අවනත නොවුණෙමි.
ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ. පවුලක බලය රැක දීමට, ඔවුන්ගේ අනාගතය සුරැකීමට, බලයට කෑදර වුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබාගැනීමට වඩා ගෙදර යන එක මට සැපයකි. ජනාධිපතිවරයා කළ යුතුව තිබෙන්නේ සැබෑ ලෙස රට ගොඩගත හැකි ජනතාව පතන වෙනසට අවස්ථාව ලබාදීමයි.
ඒ සඳහා අපි සාකච්ඡා කළ අතර ඒවාට ජනාධිපතිවරයා එකඟවූයේ නැත. ජනතාව ප්‍රතික්ෂේප කළ බල කඳවුරු ආරක්ෂා කිරීමට වඩා කළ යුත්තේ ඒවා පුපුරවා දැමීම යැයි මා තරයේ සිතමි. කිසිදු වැඩපිළිවෙළක් නැති, කිසිදු ආර්ථික දැක්මක් නැති, කුඩා කණ්ඩායමක බලය රැක ගැනීමට හැදූ ඇහින්දාස් ආණ්ඩුවක තනතුරු ප්‍රතික්ෂේප කරමින් මා ජනතාවගේ පැත්තේ සිට ගන්නේ ඒ නිසාවෙනි.
මා කිසිදිනෙක පුද්ගලික වාසිය සඳහා ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නැත. මුළු රටේම ජනතාව පක්ෂ පාට, ජාති, ආගම් බේදයකින් තොරව ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත්වන ලෙස වන අතර එම අරගල මේ දේශපාලන ඩීල් වලින් යට ගැසිය නොහැක.
ඉදිරියේදී මේ චෞර වලල්ල එකට තබා පරදවන මහා ජන රැල්ලේ කොටස් කරුවෙකු වීමට මා ඉදිරියට පැමිණෙමි. දේශපාලන ගේම් වලින් රට මුදාගෙන යහපත් රටක් හදමු.
-හර්ෂ ද සිල්වා
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…