විශේෂාංග

බත් පැකට්ටුවට අරක්කු කාලට කරන දේශපාලන යුගය අවසන්ව ඇති බව දේශපාලන පිසාචයන් දැන ගත යුතුය

අද ලංකාදීප කතුවැකිය –

විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීමේ වන්දිය ඉකුත් 9 වැනිදා මුළු රටම ගෙව්වේය. තුන්කල් දක්නා ඉසිවර නුවණින් නිසි කලට නිසි ලෙසට විසඳුම් සෙවීමට අසමත් වීමේ විපාකයට මුළු රටම ගොදුරු විය. පැරැණි පන්නයේ ත්‍රාඩ, තුච්ඡ පිළිවෙතට ප්‍රහාර එල්ල කිරීමේ හා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ මාදිලිය රටක් වශයෙන් අප සිටින පසුගාමීත්වය පෙන්නුම් කළේය. රටම නොනිමෙන ගිනි මැලයක් බවට පත්ව ඇති අනතුරුදායක තත්ත්වය හෘදය සාක්ෂියක් සහිත සියලු මිනිසුන්ට අලුත් සිතීමකට බලකර ඇත.

රටේ පැවැති තත්ත්වය සම්බන්ධයෙන් නිවැරැදි කියවා ගැනීමක් බලධාරීන්ට තිබූ බවක් නොපෙනේ. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා පැවැති සටන එක්කෝ දේශපාලන පක්ෂ මෙහෙයවූ සටන් විය. නැතහොත් ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති නායකත්වය දුන් සටන් විය. එහෙයින් එම සටන්වල දිග පළල සම්බන්ධයෙන් මැනීමක් කිරීම පහසු විය. එහෙත් මෙවර සටන එසේ නොවීය. මෙවර සටනේ විශේෂත්වය වූයේ රටේ සෑම බිම් අඟලකම ජීවත් වන සෑම මිනිසකුටම දැනෙන ප්‍රශ්න මත සටන නිර්මාණය වීමය.

ඉන්ධන ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, භූමිතෙල් ප්‍රශ්නය, විදුලිය කප්පාදුව මෙන්ම දරා උසුලා සිටිය නොහැකි ජීවන බර හුස්ම ගන්නා සෑම මිනිසෙකුටම දැනුණි. එහෙයින් ඒ සියල්ලන්ගේම ආශිර්වාදය එම සටනට ලැබිණි. එම නිසාම මුළු රටම සටන් බිමක් බවට පත්විය. සටන ඇත්තේ ‘‘ගෝඨා ගෝ ගම’’ තුළ යැයි සිතීම ඉහත තත්ත්වය මුළුමනින්ම අමතක කිරීමකි. පැරැණි ත්‍රාඩ ක්‍රමයෙන්ම විසඳුම් ඉදිරිපත් කිරීමට පෙළඹීම යථාර්ථයක් වන්නේ ඒ අනුවය.

මෙම සිහිපත් කිරීම රටේ ප්‍රශ්න විසඳීමේදී පාලක පන්තියේ අවධානයට යොමු කිරීමය. පාක්ෂික දාස භාවයේ කරවටක් ගිලී සිටින අතවැසියන් ලවා ඕනෑම තුප්පහි වැඩක් කරවාගත හැකිය. බත් පැකට් එකට, රුපියල් දාහට හා අරක්කු කාලට සිය ආධ්‍යාත්මය පාවා දෙන දේශපාලන පිසාචයෝ එදත් සිටියහ. අදත් සිටිති. එහෙත් එම දේශපාලන පිසාචයන් වටහාගත යුතු වැදගත්ම කරුණ වන්නේ එම යුගය අවසන් වී ඇති බවය. එම ක්‍රමය අභාවයට ගොස් සෑහෙන කාලයක් බවය. එම අවි වර්තමානයට වලංගු නොවන බවය. එය තේරුම් නොගන්නා මුග්ධ නායකයන් සිටිත්නම් ගලා හැලෙන සෑම රුධිර බින්දුවකම වගකීම ඔවුන් බාර ගත යුතුය. එමෙන්ම එසේ බාරගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් නිසි වන්දියක් ගෙවීමට සිදුවන බවත් එළැඹ ගත් සිහියෙන් යුතුව තේරුම් ගත යුතුය.

උද්ඝෝෂකයන් මෙන්ම පොදු මහ ජනතාවද වටහා ගත යුතු වඩාත්ම වැදගත් කරුණක් තිබේ. එනම් සටන්වලට ජනතාවගේ සහයෝගයත් ආශිර්වාදයත් හිමිවන්නේ එම සටන් උපරිම සාධාරණ පදනමින් හා යුක්තිගරුක භාවයෙන් පවතින්නේ නම් පමණි යන්නය. ‘‘ප්‍රහාරය ම්ලේච්ඡ වූ විට ප්‍රතිප්‍රහාරයෙහි ම්ලේච්ඡ බව ගැන නොසොයන්නැයි’ මුහුණු පොත හරහා සංසරණය වන අදහසකි. සැබැවින්ම මේ මොහොතට අවශ්‍ය වන්නේ ආවේගවලට අමතන කුපිතකාරී වදන් නොව තෙවැනි ඇසක්ව මග පෙන්වන අරුත්බර වදන්ය. සැබැවින්ම ගිනි තැබීම පහසුය. එහෙත් එම ගිනි නිවාලීමට කොතෙක් කලක් ගතවේදැයි අනාවැකි කිව නොහැකිය. 1983 කළු ජූලියේ ගින්න නිවා දැමීමට වසර තිහකට වඩා වැඩි කාලයක් ගත විය. ඒ මුළු කාලයම මේ රට ගිලී තිබුණේ ලේ කුහරයකය. අනන්තාපරිමාණ ජීවිත අහිමිවීම සිදුවිය. මිනිය නොහැකි ගිණිය නොහැකි දේපළ විනාශයක් සිදු විය. සියවස් ගණනාවක රට ආපස්සට ගියේය. අද රට වැටී තිබෙන අර්බුද සුළියට මෙම තත්ත්වයත් ඍජුවම බලපෑවේය. ඉතිහාසය නිවැරැදිව කියවාගත යුත්තේ එහෙයිනි.

රටේ තත්ත්වය අතිශයින්ම භයානකය. ආර්ථික, අර්බුදය අවසන් නැත. දේශපාලන අර්බුදයෙන් රට අස්ථාවර වී ඇත. සමාජ කැලඹීම ප්‍රචණ්ඩත්වයේ වා සුළියක ගසා යමින් තිබේ. රට කපිතාන්වරයකු නැති නෞකාවකි. කවර ගල්පරයක වැදී කුමන මාදිලියේ විනාශයක් අත්පත් කර ගනු ඇද්ද යන්න පුරෝකථන හැකියාවෙන් එපිටය. අවශ්‍ය වන්නේ එම විනාශයෙන් රට මුදවා ගැනීමට සමත් එළැඹුමකි.

සියලු දේශපාලන පක්ෂ, සර්ව ආගමික නායකත්වය, වෘත්තිය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, විද්වතුන්, උගතුන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, නීතිඥ ප්‍රජාව මෙන්ම සමාජ ක්‍රියාකාරීන් මේ මොහොතේ සියලු නොගැළපීම්, අසමානතා අමතක කර රට ගැන සිතිය යුතුය. රට මේ සැහැසි අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා එකාවන්ව පෙළ ගැසිය යුතුය. රටට මග කියන නැකැත් තරුවක්ව මතුවිය යුතුය. රට වළපල්ලට වැටෙන්න ඉඩ දී බලා සිටීමට කිසිවකුට අයිතියක් නැත.

-අද ලංකාදීප කතුවැකිය

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago