දේශීය

යාපනයට පැය 3කින් යන අලුත් අධිවේගයේ කොටසක් ජනතා අයිතියට

කොළඹ සිට පැය 3 කින් යාපනයටත් පැය එක හමාරකින් දඹුල්ලටත් පැයකින් පමණ මහනුවරටත් ළඟා විය හැකි මධ්‍යම අධිවේගයේ, දෙවැනි කොටස ලෙස මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් වුණි.

දඹුල්ලේ සිට එළවළු පලතුරු රැගෙන කොළඹට යාමට පැය 5 ක් ගතවීම වැනි ගැටලුවලට පිළියමක් ලෙස 2012 දී පමණ එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ අදහසක් අනුව මේ මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ විය. නව අධිවේගී මාර්ගය සම්පූර්ණ ලෙස අවසන් වූ විට හම්බන්තොට සිට පැය 4 කින් පමණ දඹුල්ලට ද, හම්බන්තොට සිට පැය 3 1/2 කින් මහනුවරට ද කිසිදු බාධාවක් නැතිව එක දිගටම ළඟා වීමට අවස්ථාව ලැබෙනු ඇත. එමෙන් ම උතුරු අධිවේගය ද මෙයට එක් කළ විට කොළඹ සිට යාපනයට පැය 3කින් යාමට ලැබෙනු ඇතැයි මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් ප්‍රේමසිරි මහතා පවසන පරිදි මූලික සැලසුම් අනුව උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම් කර ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම් කර ක්‍රියාවට නංවන ලදී. ජාතික මහාමාර්ග සැලැස්මට අනුව මේ ව්‍යාපෘතිය මූලික අදියරේදී බස්නාහිර පළාතේ කොළඹ ප්‍රධාන නගරයේ සිට මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවර හා පෞරාණික වටිනාකමකින් හා ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසුකම් දියුණු කිරීම ඉලක්ක කර ඉදිකිරීම් සිදුවේ. මෙය අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලින් සමන්විත ප්‍රවේශ මාර්ග හරහා පාලනය වන අධිවේගී මාර්ගයකි. අදියර 04 ක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

1 කඩවත සිට මීරිගම දක්වා (කි.මී 37)

2 මීරිගම සිට කුරුණෑගල දක්වා (කි.මී 40.91)

3 පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී 32.5)

4 කුරුණෑගල සිට දඹුල්ල දක්වා (කි.මී 60.3)

මෙම අධිවේගී මාර්ගය ඉහළින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 13 ක්, අධිවේගී මාර්ගය ඉහළින් හා පහළින් ගමන් කරන කොටස් 46 ද බෝක්කු 130 ක්ද, සම්පූර්ණයෙන් ගත් කල මීටර් 9,825 ක් වන කොන්ක්‍රීට් කණු මත දිවෙන මාර්ග කොටස් 35 කින් සමන්විත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. මහජනයාගේ පහසුව හා සිදුවිය හැකි පාරිසරික බලපෑම් අවම වන පරිදි එනම් අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ජල ගැලීම් වැනි තත්ත්වයන් ඇතිවීම අවම වන ආකාරයට මෙහි ක්ෂේත්‍රය කළමනාකරණය සිදු කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයන්ට අමතරව ප්‍රදේශයේ මහජනතාවගේ ද අදහස් සැලකිල්ලට ගනිමිනි.

මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන්නේ කඩවත අධිවේගී අන්තර් හුවමාරුවෙනි.

කඩවතින් ඇරැඹෙන අධිවේගී මාර්ගයේ ඊළඟ අන්තර් හුවමාරුව ගම්පහ වන අතර එතැනින් පසුව වේයන්ගොඩට ද මීරිගම දකුණු හුවමාරුවට ද ගමන් කළ හැක. මේ වනවිට එහි ඉදිකිරීම් ද ලහි ලහියේ සිදු කෙරේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන අදියර ජනවාරි 15 දා විවෘත විය. මෙහි සම්පූර්ණ වියදම රුපියල් බිලියන 137යි. මෙම අධිවේගී මාර්ග කොටසේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිම කර ඇති බව මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුර කෙහෙල්ඇල්ල පවසයි. මේ නව මාර්ගය ඔස්සේ විනාඩි 25ක් තුළ කුරුණෑගල-මීරිගම අතර ගමන් කළ හැකියි. මේ ඉදිකිරීම් සියල්ල කරන්නේ දේශීය සමාගම් විසින්. ඒ හරහා රටේ සල්ලි පිට රට ඇදී යන්නේ නැහැ. ඒ වගේ ම ණය මුදල් ලබාදී ඇත්තේත් දේශීය බැංකු විසින්. අප වැනි සංවර්ධනය වන රටකට එය ඉතා වැදගත් වනවා.“ ව්‍යාපෘති අධ්‍යක්ෂ කියයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 අදියරේ මීරිගම උතුර සිට, නාකලගමුව (අලව්ව – නාරම්මල මාර්ගය) දම්බොක්ක (කුරුණෑගල – කොළඹ මාර්ග අංක 6) යන ස්ථානවල පිවිසුම් මාර්ග ස්ථාපිත කර තිබේ. දම්බොක්කට කලින් පොතුහැරදී මහනුවර බලා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගය දකුණට හැරී යයි.

නාකලගමුව අන්තර් හුවමාරුවෙන් පසුව හමුවන දම්බොක්ක හුවමාරුවේ සිට පොතුහැරට කිලෝමීටර් 5 ක පමණ දුරක් හා කුරුණෑගලට කිලෝමීටර් 4 ක පමණ දුරක් තිබෙන හෙයින් දම්බොක්ක හුවමාරුව පොතුහැර, පොල්ගහවෙල, කෑගල්ල ජනතාවට බෙහෙවින් වැදගත් ය.

එමෙන් ම කුරුණෑගල – මහනුවර මාර්ගයේ කුරුණෑගල දුම්රිය ස්ථානය අසලින් (ගැට්ටුවාන) කුරුණෑගල පිවිසුම ඉදි කර තිබේ. එසේම කුරුණෑගල දඹුල්ල පාරේ (මුත්තෙට්ටුගල උප දුම්රිය ස්ථානය අසල) තවත් පිවිසුම් මාර්ගයක් ස්ථාපිත කර ඇත. එය හඳුන්වන්නේ යග්ගපිටිය අන්තර් හුවමාරුව නමිනි.

මංතීරු 4 කින් යුක්තව ඉදිවී ඇති මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ග කොටස දැනට හඳුනාගෙන ඇත්තේ අලංකාරම අධිවේගී මාර්ගය ලෙස ය. ඒ අලංකාර වන පෙත් මැදින් දිවෙන මාර්ගයක් ලෙසයි. එය එතරම්ම ස්වාභාවික සෞන්දර්යයෙන් යුක්ත ය. මධ්‍යම අධිවේගයේ සිවුවන අදියර වන කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ මේ වනවිට අවශ්‍ය සියලුම මූලික කටයුතු නිම කර ඇත. සිවුවන අදියර කිලෝමීටර් 58.6 කින් යුක්ත වන අතර එහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 කි. ඒ රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල හා දඹුල්ලේ පිවිසුම් මාර්ග දෙකක් ලෙසිනි. දඹුල්ලේ එක් පිවිසුමක් ඒ – 9 මාර්ගයේ දඹුල්ල – මහනුවර මාර්ගයටත්, අනෙක් පිවිසුම දඹුල්ල – හබරණ මාර්ගයටත් විවර වනු ඇත. මෙහි වියදම රුපියල් බිලියන 150කි.

මේ ව්‍යාපෘතියේ විශේෂිතම කොටස වන්නේ 3 වැනි අදියර යි. ඒ පොතුහැර සිට ගලගෙදර දක්වා වන (මහනුවර දක්වා) මාර්ගයයි. ඒ පොතුහැර සිට ගලගෙදර දක්වා වන සමස්ත දුර කිලෝමීටර් 32.5 කි.

මාර්ගයේ 3 අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය මහනුවර දක්වා යන වාහන සඳහා පහසුව සලසනු ඇත. දිගින් කිලෝමීටර් 32.5 ක් වන මේ මාර්ගයේ රඹුක්කන, ගලගෙදර අන්තර් – හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 159 ක් වැය කිරීමට යෝජිත වුවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ මැදිහත් වීම මත ජපන් සමාගම ඒ සඳහා රුපියල් බිලියන 25 ක් අඩු කර ඉදි කිරීමට එකඟ වී තිබීම නම් රටේ වාසනාවකි.

පොතුහැරින් ආරම්භ වන තුන්වැනි අදියර අඩි 300 ක පමණ උසක සිට අඩි 1200 ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයකි. මෙම මාර්ගය සඳහා බිංගෙවල් තුනක් ඉදි කළ යුතු වන අතර කොන්ක්‍රීට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටස් ද මෙහි අන්තර්ගත වේ. මේ මාර්ගයේ ඉහළින් ඉදිවන මාර්ගයන්හි සම්පූර්ණ දිග කිලෝ මීටර් 5.05 කි. එසේ ම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14 ක් ද මේ මාර්ගයට අයත් වේ. සිවුවන අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3 ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙනු ඇත. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 150 කි. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ – 9 මාර්ගයේ පිවිසුම හා දඹුල්ල – හබරණ මාර්ගයේ පිවිසුම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කෙරේ.

කොළඹ – දඹුල්ල – මහනුවර සම්බන්ධ කෙරෙන මේ මධ්‍යම අධිවේගයෙන් රටට ඉතා වැදගත් වේ. ඉන් කොළඹ සිට පැය එක හමාරකින් දඹුල්ලට ද කොළඹ සිට මහනුවරට පැයකදී පමණ ද ළඟාවීමට හැකියාව ලැබෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරියේදී යාපනයට දීර්ඝ කිරීමෙන් පසුව පැය 3 ක් වැනි කාලයකින් කොළඹ සිට යාපනයට ළඟාවීමට හැකියාව ලැබෙනු ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් ප්‍රේමසිරි කියයි.

සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

6 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

6 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

16 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

17 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

17 hours ago