දේශීය

ජනාධිපතිවරයාට ෆේස්බුක් හරහා අපහාස කරොත් අත්අඩංගුවට ගන්න පොලීසියට පුලුවන්ද? නීතීඥ සාරංග වාදසිංහ

යම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් අපහාසයක් සිදුවුවහොත් දීලික්ත්මය වගකීම සම්බන්ධව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා වන්දි ලබා ගැනීමේ හැකියාව පවතී.ජනාධිපතිවරයාට රටේ යම් පුරවැසියෙකුගේ ප්‍රකාශයකින් හෝ ෆේස්බුක් වැනි සමාජමාධ්‍යකින් බෙදා හරිනු ලබන පෝස්ට් එකක් මගින් යම් ආකරයකින් අපහාසයක් වූයේ යැයි සිතනවා නම් මෙම නීති තත්වය මගින් සහනයක් ලබා ගත හැකිය.

නමුත් එලෙස අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීමේදී අදාල ප්‍රකාශය සැබෑ ලෙසටම අපහාසාත්මක බව පැමිණිලිකරු විසින් ඔප්පු කළ යුතුය.අපහාසයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද? Independent Newspapers Ltd V. Devdas 1983 (2) SLR 505 නඩුවේදී තීරණය කරන ලද්දේ “අපහාසය තුළ යම් පුද්ගලයෙකු පිළිබඳ සිදු කරන සාධාරණ පදනමකින් තොර හෝසමාවකින් තොර හෝ අපහාසාත්මක ප්‍රකාශයක් අන්තර්ගත වන බවයි”.මීට අමතරව අපහාසය අදාල පුද්ගලයාට හානි කිරීමේ චේතනාවෙන් යුතුව කළ බවද පැමිණිල්ල ඔප්පු කළ යුතුය.මේ අනූව සිවිල් නීතිය යටතේ අපහාස නඩුවක් ගොනු කොට අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීම හා වන්දි ලබා ගැනීම සිතනා තරම් පහසු එකක් නොවන බව පෙනේ.

නීතීඥ සාරංග වාදසිංහ

අපහාස කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ අපරාධ නීති තත්වය මීළගට විමසා බලමු.ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 479 සිට 482 අ. දක්වා වගන්තිවල “කීර්ති හානි කිරීම” යටතේ යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකට අපහාස කිරීම අපරාධමය වරදක් ලෙස දක්වා තිබුණි.නමුත් මෙම සාපරාධී අපහාස නීතිය ඇතුලත් පරිච්ඡේදයම සම්පූර්ණයෙන්ම 2002 අංක 12 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතින් ඉවත් කරන ලදි.එම නිසා මේ වන විට පුද්ගලයෙකුට අපහාස කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට කිසිදු බලයක් නොමැත.

යම් පිරිසකගේ තර්කයක් වන්නේ 2021 අංක 05 දරණ සංශෝධන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තයේ පෙර පැවති “මහරැජින” යන වචනය වෙනුවට “ජනාධිපතිවරයා”යන වචනය ආදේශ කළ නිසාවෙන් ම එම වගන්තිය යටතේ ජනාධිපතිවරයාට කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධව නඩු පැවරිය හැකි බවයි.අප මෙම තර්කය පදනම් සහිත එක්කද යන්න සලකා බැලීමට එම සංශෝධිත 120 වගන්තිය කෙරෙහි අවධානය යොමු කරමු.

120.කථා කරනු ලැබූ හෝ කියවීමට අදහස්කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් ජනාධිපතිවරයා කෙරෙහි හෝ ජනරජයේ ආණඩුව කෙරෙහි විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්සතොත් හෝ ඇවිස්සීමට තැත් කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමෙහි දී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කරතොත් හෝ නීත්‍යානුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට ශ්‍රී ලංකාවේ ජනතාව උනන්දු කරවතොත් හෝ ශ්‍රී ලංකාවේ ජනතාව අතට අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු ජනතාවගේ වෙනස් පංති අතර සතුරු වූද,අසමගි වූ ද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු ය.

ඉහත වගන්තිය විශ්ලේෂණය කිරීමේදී අවබෝධ වන කාරණය නම් හුදු අපහාස කිරීමක් මෙම වගන්තියට නොවැටෙන බවයි.තවදුරටත් එම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය 2015.11.05 වන දින තීරණය කරන ලද සිසිර කුමාර වාහලතන්ත්‍රී එරෙහිව පොලිස්පති (SCFR 768/2009) නඩු තීන්දුව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ද පැහැදිලි වේ.එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය “120 වගන්තියේ හරය වන්නේ ප්‍රශ්නගත වචන අපහාසාත්මක ද නැද්ද යන්න නොව එමගින් ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ කලහයකට පෙළඹවීමක් සිදුවේ ද යන්නයි” ලෙස සදහන් කළේය.ඒ අනූව ඉතා මැනවින් පැහැදිලි වන්නේ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ නඩු පැවරිය නොහැකි බවයි.

ඉහත සදහන් කරන ලද ඉවත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය හැර ශ්‍රී ලංකාවේ කිසිදු අපරාධ නීතියට අදාල වන පනතක යම් පුද්ගලයෙකුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම නිසා අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට වගකීමක් සංස්ථාපනය වන ප්‍රතිපාදනයක් නොමැත.එහෙයින් “ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් සමාජමාධ්‍යක හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව පොලීසියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවට” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීම අපරාධ නීතිය පිළිබඳ ඉතාම අසත්‍ය හා මිනිසුන් නොමගයවන සුළු ප්‍රකාශයකි.

සටහන නීතීඥ සාරංග වාදසිංහ මහතාගේ මුහුණුපතින්

Recent Posts

පාස්කු ප්‍රහාරයට මාව අත්අඩංගුවට ගන්නෙපා.-ගෝඨාභයගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…

23 hours ago

මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ වැඩ අරඹයි.

රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…

23 hours ago

බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න – ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…

2 days ago

වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…

2 days ago

ඩෙංගු බෝ කර­න්නන්ට තරා­ති­රම නොබලා නීතිය තදින්

මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසං­ගත තත්ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ අව­දා­නම…

2 days ago

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…

2 days ago