දේශීය

දත්ත හා තොරතුරු පදනම් කරගත් ධනාත්මක පරිවර්තනයකට මාධ්‍යවේදීන් සූදානම් විය යුතුයි – ජනමාධ්‍ය අමාත්‍ය

සැබෑ හා වටිනාකමක් සහිත දත්ත හා තොරතුරු පදනම් කරගත් ධනාත්මක සමාජ පරිවර්තනයකට මාධ්‍ය ක්ෂේත්‍රය තුළින් දායකත්වය ලබාදීමට ජනමාධ්‍යවේදීන් සූදානම් විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

“මාතර මාධ්‍ය අභිමන්” නමින් මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමය සංවිධානය කළ මාධ්‍යවේදී ඇගයුම් උළෙලට අද (30) සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මාතර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව හා සුභසාධනය අරමුණු කරගනිමින් පිහිටුවා ඇති මෙම සංගමය විසින් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ කැපවීම හා මෙහෙවර වෙනුවෙන් මෙහිදී උපහාර දක්වන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අද වන විට තොරතුරු ලොව වටිනාකමින් වැඩිම වෙළෙඳ භාණ්ඩය බවට පත් වී ඇති බවයි. එම තොරතුරු පිළිබඳ බලාධිකාරය සහිත සමාගම් ලෝකයේ ධනවත්ම සමාගම් ලෙස ඉදිරියට පැමිණ තිබේ. අද ආයතන මෙන්ම ජනතාවද සිය වැඩි අවධානය යොමුකරන්නේ නව තොරතුරු වෙතයි. තොරතුරු හඹා යාමේ මෙම ප්‍රවණතාව තුළින් නව සමාජ මාධ්‍ය තොරතුරු සම්පාදනයේ වේගවත්ම හා ජනප්‍රියතම මාධ්‍ය බවට පත්වෙමින් තිබේ. ඒ අනුව, සැබෑ අගයකින් යුතු නැවුම් තොරතුරු සැනෙකින් ජනතාව වෙත සන්නිවේදනය කිරීම මාධ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්මෙහිලා අත්‍යවශ්‍ය සාධකය ලෙස හඳුනාගැනීමට පිළිවන.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

“අමාත්‍යවරයකුට වඩා මාධ්‍ය සගයකු ලෙස මෙම අවස්ථාවට ආරාධනය කිරීම පිළිබඳව මම ඉතාමත්ම සතුටට පත් වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම අයත් මුද්‍රිත, විද්‍යුත්, සමාජ මාධ්‍ය ආදී සියලු මාධ්‍ය සගයින් එක්ව සංවිධානය කර ඇති මෙම ඇගයුම් උළෙල ජනමාධ්‍යවේදී සමගිය සම්බන්ධ පරමාදර්ශයක් පෙන්වා තිබෙනවා. මාගේ දේශපාලන දිවිය තුල එවැනි අවස්ථාවක් දැක්කේ එක් වරක් පමණයි. ඒ සුනාමි ව්‍යසනයෙන් පසුව පක්ශ අතර ඇතිවූ දින කිහිපයක එකගතාව පමණයි. මා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස දේශපාලනඥයින්, මාධ්‍ය වෘත්තිකයින් මෙන්ම සියලුම වෘත්තිකයින්ගෙන් ඉල්ලා සිටිනවා මාතර මාධ්‍ය එකමුතුව ආදර්ශයට ගන්නා ලෙස. මානවීය අගයන්ට බාධාවක් කර නොගෙන විසංවාදය පවත්වා ගැනීම ලෝකයේ දියුණු රටවල ලක්ෂණයක්. අද පැවැත්වෙන්නේ සුහද හමුවක් පමණක් නොවෙයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස් දෙනෙකු මාතර මාධ්‍යවේදීන්ගේ ගෞරව උපහාරයට ලක්වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තීය වටිනාකම් හා මාතර පුරවරයේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපකිරීම් කළ ඒ සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට මගේ ගෞරවය පුදකිරීමට මා මෙය අවස්ථාව කර ගන්නවා.

අද වන විට තොරතුරු ලොව වටිනාකමින් වැඩිම ව‍ෙළෙඳ භාණ්ඩය බවට පත් වී තිබෙනවා. අද ආයතන මෙන්ම ජනතාවද සිය වැඩි අවධානය යොමුකරන්නේ නව තොරතුරු වෙතයි. අද මාධ්‍ය වෙනම මානයකට වෙනම තලයකට පැමිණ තිබෙනවා. මාධ්‍ය අධිපතිභාවය පසුගිය දශකයේ සිට නව මාධ්‍ය වෙත හුවමාරු වී තිබෙනවා. එම හේතුව නිසාම වර්තමානයේදී මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යත් තමන්ගේ මාධ්‍ය භූමිකාව තුල නව මාධ්‍ය, සමාජ මාධ්‍ය වෙත වැඩි ඉඩක් වෙන් කරන අයුරු දැකිය හැකියි.

මෙම පරිවර්තනයට ඔබ අනුගත විය යුතුයි. ලෝක ඉතිහාසයේ පළමුවන වතාවට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය රුසියාවේත් පිලිපීනයේත් මාධ්‍ය වේදියෙකුට හා මාධ්‍යවේදිනියකට හිමිවුනා. එසේ නොබෙල් සාම ත්‍යාගය ලබාදීමේදී ඔවුන් ඇගයීමට ලක්වූයේ ආකල්ප මත නොව තොරතුරු මත පදනම්ව කරුණු වාර්තා කිරීම නිසායි. ඔවුන් සැබෑ දත්ත මත තම වාර්තාකරනය සිදුකිරීම එසේ ඇගයීමට ලක්වීමට ප්‍රධාන හේතුවයි. දැනුම පාදක කරගත් තොරතුරු සැපයීම ඔබගේද මූලික වගකීමක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

මීට දින දෙකකට පෙර ජපානයේ ජයිකා ආයතනය හා එක්ව රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කළා. 2025 වසරේදී එම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත අතර සියලුම රූපවාහිනී සුපැහැදිලි දසුන් සහිතව
නැරඹීමේ අවස්ථාව එමගින් හිමිවෙනවා. එයින් මුද්‍රිත මාධ්‍යයන්ට අනිසි බලපෑමක් සිදුවන්නේ නැහැ. ලෝකයේ ඕනෑ තරම් උදාහරණ ඊට ලබාදිය හැකියි. ඇමරිකා එක්සත් ජනපදයේ “CNN” නාලිකාව ඉතා ප්‍රබල විද්‍යුත් නාලිකාවක් වන අතර “New York Times” පුවත්පතද ඉතා ප්‍රබල පුවත්පතක් ලෙස පවතිනවා. අපේ සමාජය තොරතුරු වලින් සන්නද්ධ කලයුතුයි. එයින් කාටද වාසි හෝ අවාසි වෙන්නේ කියන එක වැදගත් නෑ. ආකල්ප මතනොව දත්ත මත පදනම් වූ තොරතුරු වලින් ජනතාව දැනුවත් කල යුතුයි.” මාතර, කඹුරුගමුව ආසිරි උත්සව ශාලාවේ පැවති මෙම ඇගයුම් උළෙලේදී දිගු කලක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපවීමෙන් කටයුතු කළ උපසේන ලියනගම, ජයතිස්ස තෙන්නකෝන්, දයානන්ද ද සිල්වා, සිරිසේන ගලප්පත්ති, එඩ්මන් ලියනගේ යන මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු උපහාර ලැබූහ.

මෙම ඇගයුම් උළෙල හා මාධ්‍යවේදී වාර්ෂික හමුවට මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමයේ සභාපති ක්‍රිශාන් ජීවක ජයරුක්, ලේකම් ඩී.කේ මහින්ද, කැඳවුම්කරු කැලුම් බෝධිමාන යන මහත්වරුද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝද මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමයේ සාමාජිකයෝද සහභාගි වී සිටියහ.

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

3 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

3 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

3 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

3 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

1 week ago