Thursday, April 17, 2025
Homeවිශේෂාංගරට බිහිසුණු තත්ත්වයක! ප්‍රෙහෙළිකාව ජය ගැනීම - වික්ටර්ගේ විග්‍රහය

රට බිහිසුණු තත්ත්වයක! ප්‍රෙහෙළිකාව ජය ගැනීම – වික්ටර්ගේ විග්‍රහය

ලංකාව දැන් තිබෙන්නේ විසඳාගැනීම ඉතා දුෂ්කර සංකීර්ණ ප්‍රහේලිකාවක තත්වයකය. එහි ප්‍රධාන ලක්ෂණ සමහරක් මෙසේය. රට තිබෙන්නේ ඉතා වේගයෙන් විශාල විනාශයක් කරා ගමන් ගන්නා බිහිසුණු තත්වයකය. රට මුහුණ දී තිබෙන අර්බුදය තනිකර මේ ආණ්ඩුවේ නිර්මාණයක් ලෙස සැළකිය නොහැකිය. එය දීර්ඝ කාලයක් තිස්සේ එක දිගට විටින් විට ලංකාව පාලනය කල විවිධ ආණ්ඩු වලද, විරුද්ධ පක්ෂවල ද බලවත් විරෝධයකින් හා නිවරදි කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන ගිය වැරදි නිසාද විනාශකාරි, කොල්ලකාරී, දූෂිත හා අමන ප්‍රතිපත්ති නිසා ද, ඇතිවී තිබුන විශේෂ අර්බුදයක් ලෙස සැළකිය හැකිය. එම අර්බුදය නිසා ඇතිවන විනාශය මුළුමනින් වැළකීමේ හැකියාවක් ආණ්ඩුවට තිබුනේ නැතත් අර්බුදයට ගිය ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කරන අතර අර්බුදය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරන වැඩසටහනක් මගින් ඉන් රටට සිදුවන හානිය කිසියම් විශාල ප්‍රමාණයකට අවම කර ගැනීමේ හැකියාව තිබුණි.


දැක්මේ සීමාසහිත කම්:
එහෙත් බලයට පත්වන්නට පෙර ජනාධිපතිවරයා රට මුහුණ දී තිබෙන අර්බුදය කල් තියා තේරුම් ගැනීමට අසමත්ව තිබුණා පමණක් නොව බලයට පත්වීමෙන් පසුවද අර්බුදය ප්‍රමාණවත් තරමේ ගැඹුරකින් තේරුම් ගැනීමටද අසමත් විය. ඒ නිසා අර්බුදය කළමණාකරණය කෙරුනේ ප්‍රශස්ත අකාරයකට නොව තිබෙන අවුල් උග්‍ර කිරීමට හා ඇතිවන්නට නියමිත විනාශය විශාල කිරීමට හේතුවන ආකාරයටය. දේශපාලනය හෝ රාජ්‍යය පාලනය ගැන කිසිදු පළපුරුද්දක් නැති ජනාධිපතිවරයා අතට පත්වූයේ හොදට තිබෙන පහසුවෙන් පාලනය කල හැකි රටක් නොව පළපුරුදු දක්ෂ පාලකයෙකුට පවා පාලනය කිරීමට පහසු නැති අවුලෙන් අවුලට ගිය රටකි. අනෙක් අතට ජනාධිපති බලයට ආවේ අන් ජනාධිපතිවරුන් සේම ගජ මිතුරන් විශාල ගණනක් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම් විශාල ගණනක් සාක්කුවේ දමා ගෙනය. වෙනත් ජනාධිපතිවරුන්ට වෙනස්ව මේ ජනාධිපත්වරායාගේ ජනාධිපතිවරණ වැඩසටහන දීර්ඝ කාලීන එකක් වීම නිසා වෙනත් ජනාධිපතිවරුන්ගේ ජනාධිපතිවරණ වියදමට වඩා විශාල වියදමක් මේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ වැඩසටහන වෙනුවෙන් ගජ මිතුරන්ට දරන්නට සිදුවී තිබුනි.
ක්‍රමයේ ඇතිවී තිබුන කඩා බිද වැටීම නිසා නොපළපුරුදු ජනාධිපතිවරයාට මෙම අර්බුදය තුළ වැඩ කරන්නට සිදුවූයේ ක්‍රමයෙන් පරිබාහිරව හිතුවක්කාරී අකාරයකටය. ජනාධිපතිවරයා මුලදී කල්පනා කලේ ලංකාව මුහුණදී තිබෙන අර්බුදය තමන් ආරකෂක ලේකම් වශයෙන් මුහුණ දුන් අවසන් අභ්‍යන්තර යුද්ධයට වඩා පොඩි දෙයක් ලෙසය. ලංකාවේ අර්බුදය දැක්කේද ආරක්ෂක හමුදාවල සහාය ඇතිනම් ඉතා පහසුවෙන් ජය ගත හැකි සරල අර්බුදයක් ලෙසය. එය ජනාදිපතිට වැරදුන එක බලවත් තැනක් ලෙස සැළකිය හැකිය. නොපළපුරුදු ජනාධිපතිවරයා පළපුරුදු දක්ෂ උගත් නිලධාරින් කෙරෙහි විස්වාසය තබා ක්‍රියා කරනවා වෙනුවට තමන් දන්නා නොපළපුරුදු මතු පිටින් බලන විට ලස්සන මනෝරාජික අදහස් දරන න්‍යායවාදීන් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කිරීම ජනාධිපතිවරයා වරද්දාගත් තවත් වැදගත් තැනක් ලෙස සැළකිය හැකිය. රසායන පොහොර හා කෘෂි රසායන තහනම හා ඒ ආශ්‍රයෙන් කෘෂිකරමයේ ඇතිවූ මහා අවුල ඒ සදහා දැක්විය හැකි හොදම නිදර්ශනය ලෙස සැළකිය හැකිය. ආර්ථිකයේ විශාල කඩා වැටීමක් ඇතිව තිබියදී හා එහි පීඩනය ජනතාවට දරා ගත නොහැකි තත්වයක තිබියදී එය නොසළකා සිය ගජ මිතුරන්ට උපරිම ලෙස ගසා කෑමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාට සිදු විය. එම තත්වය රටේ අර්බුදය උග්‍ර කිරීමට හේතු වුනා සේම ජනාධිපතිවරයා කෙරෙහි පැවති මහජන විශ්වාසය පළුදු කිරීමට හේතුවන වැදගත් සාධකයක් ලෙසද ක්‍රියා කලේය.
ප්‍රශ්න අවුල් කර ගැනීම:
ජනාධිපතිවරයා බලයට පත්වුයේ විශාල ජන වරමකිනි. එහෙත් එම ජන වරම මේ වන විට තිබෙන්නේ හොඳටම වාෂ්පවූ තත්වයකය. මෙතරම් ඉක්මනින් මෙතරම් විශාල ප්‍රමාණයකට අප්‍රසාදයට පත්වූ ලංකාවේ වෙනත් පාලනයක් නැති තරම්‍ ය. රටේ අර්බුදය තිබෙන්නේ පාලනය කල නොහැකි මහා කඩා බිද වැටීමක මුව විටය. ගෙවුම් ශේෂ අර්බුදය තිබුනේ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලට ගොස් අවශ්‍ය ණය පහසුකම් ලබා ගෙන තරමක පීඩා කාරි හත්වයකට යමින් වුවද එම අර්බුදය විසදා ගත හැකි තාත්වයකය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගොස් එම අර්බුදය විසඳා ගත හැකි වෙනත් ක්‍රම ඇතිබව කියා එම වැඩසටහන සදහා ජනාධිපතිවරයා එකඟ කරගත් පුද්ගලයා කවරෙකු වුවද ඔහු දැන හෝ නොදැන රටට පමණක් නොව සිය ජනාධිපතිටද කර තිබෙන හානිය අති විශාලය. එම මෝඩ විනාශකාරි ප්‍රතිපත්තිය නිසා එක අවස්ථාවකදී මුළු රටම කඩා බිඳ වැටුන, ක්‍රියාකාරී හැකියාව මුළුමනින් අහිමිකරගත්, අසමත් හා අරාජික තත්වයට පත් කිරීමට හේතුවනු ඇත. නුදුරු අනාගතය පිළිබදව පෙනෙන්නට තිබෙන චිත්‍රය ඉතා නරකය. ලංකාවේ බැංකු ක්‍රමය ද මුළුමනින් කඩා බිඳ වැටෙන තත්වයකට පත් විය හැකිය. ඒ සමග ඉතිරි කිරීමේ ගිණුම් වල තිබෙන තැන්පතු වාෂ්ප වී යන තත්වයක් ඇති විය හැකිය. උද්ධමනය ඉසිලිය නොහැකි මහා බරක් බවට පත්වී භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය මුදල් වල ප්‍රමාණයද භාණඩ වල තරමටම විශාල වන තත්වයක් ඇති කිරීමට හේතු විය හැකිය. විදුලිය හා ප්‍රවාහනය සදහා නැතුවම බැරි ඉන්ධන සැපයුම බිඳ වැටීමත් සමග ක්‍රමයේ බිඳවැටීම පරිපූර්ණ කිරීමට හේතුවනු ඇත.
එම කඩා බිඳ වැටීම සිදු වනු ඇත්තේ කවදාද? ඒ දෙය ජනාධිපතිවරණයට පෙර අද සිට සමහර විට වසරකට අඩු හෝ වැඩි කාලයක් සිදු විය හැකිය. එවැනි තත්වයක් ඇති වුවහොත් ඊට ආණ්ඩුවට මුහුණ දීමට තිබෙන හැකියාව තේරුම් ගැනීම අමාරු නැත. එවැනි තත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා වන ඉදිරි දැක්මක් විරුද්ධ පක්ෂවලට තිබෙනවාද? මැතිවරණයක් නැතිව බලය ගන්න යන්නේ කවර ආකාරයකටද?

READ:   රටේ මේ මොහොත කෙටියෙන් - අවන්තගේ තෙලිතුඩින්

මේ මොහොතේ විරුද්ධ පක්ෂවල පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ අර්බුදය හෝ එය ඇතිකරන්නට නියමිත ප්‍රතිඵල ගැන නොව ඉදිරි ජනාධිපතිවරණය ගැනය. එහිදී ද ජනාධිපතිවරණය ජය ගත හොත් තමන් ඇතිකරන්න යන ප්‍රතිසංස්කරණ මොනවාද යන්න ගැන ඒ කිසිවෙක් විධිමත් ලෙස කථා කරන්නේ නැත. ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන පිළිවෙත කුමක්ද? ඒ ක්‍රමය පවත්වාගෙන යනවානම් අඩුම වශයෙන් දැන් නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතියට යටත් තත්වයකට පත් කරන්නේද? ඒ මගින් ජනාධිපතිවරයෙකුගේ ක්‍රියා නීතිවිරෝධී වන අවස්ථාවලදී එවා අවලංගු කිරීමේ බලය අධිකරණයට ලබා දෙන්නේද? ජනාධිපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එකට කල්ලී ගැසී විවිධ ක්‍රමවලට පවත්වාගෙන යන නිතියට පටහැනි පොදු දේපළ කොල්ලය අවසන් කිරීම සදහා ක්‍රියා කරන්නේද? ඒ සදහා ඇති කරන්නට යන ප්‍රතිපත්ති හා විධිවිදාන මොනවාද? පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් පාලනයට නීති ඇති කරන්නේද? පක්ෂ වල අභ්‍යයන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සදහා නීති ඇති කරන්නේද? බිඳ වැටී තිබෙන ජාතික සමගිය ඇති කරන්නට යන්නේ කවර ආකාරයටද? මෙවැනි මූලික ප්‍රශ්න ගැන කල්තියා මහජනයා දැනුවත් කිරීමේ වගකීමක් විරුද්ධ පක්ෂවල තිබෙනවා නොවේද?


ප්‍රෙහෙළිකාව විසඳා ගැනීම:
විසඳා ගැනීමට පහසු නැති දේශපාලන ප්‍රෙහෙළිකාව සැදී තිබෙන්නේ ඊළග ජනාධිපතිවරණයට පෙර මැතිවරණයක් පවා පැවැත්වීමට නොහැකි ආකාරයට සමස්ථ ක්‍රමයේ කඩා බිඳ වැටීමක් ඇති වුවහොත් කරන්නේ කුමක්ද යන ප්‍රශ්නයෙනි. දැන් ලංකාව තිබෙන්නේ එවැනි බරපතල අවදානමක් ඉදිරියේය. එහෙත් දැන් තිබෙන අර්බුදය පවා කල් තියා දකින්නට අසමත්වූ ලංකාව වඩා සංකීර්ණ එම අර්බුදයද කල් තියා දකින්න්ට සමත් වනු ඇතැයි සිතිය නොහැකිය. රටේ ආර්ක්ෂාව සදහා කළ හැකිව තිබෙන හොදම දේ වනුයේ රට තිබෙන්නේ ලොකු අනතුරක මුව විට බව පිළිගනිමින් එවැනි තත්වයක් ඇතිවීම වැළකීම සදහා අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ අතර පොදු එකගතාවයක් ඇතිකර ගැනීමය. ක්‍රමය ප්‍රතිසංස්කරණ කරන තැනකට යනවාද නැතිනම් මුළුමනින් වෙනස් කිරීමට හේතූවන ලෙස ප්‍රතිනිර්මාණය කරගන්නවාද යන්න තීරණය කිරීමේ බලය ජනමත විචාරණයක් මගින් මහජනායාට දිය හැකිය. සරල ප්‍රතිසංස්කරණ වැඩසටහනකට සේම ක්‍රමය මුළුමනින් වෙනස් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සදහා වුවද ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථා සම්පාදනයක් අවශ්‍ය වේ. ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද නැතිනම් නව ව්‍යවස්ථාවක් ද යන්න මහජයාගෙන් විමසිය හැකිය. එසේම ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථා සම්පාදනයක් නම් එය පාර්ලිමේන්තුව මුල් කරගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින්ද එසේ නැතිනම් ව්‍යවස්ථා සම්පාදනය සදහාම තෝරාගත් මහජන නියෝජිතයන් මුල් කරගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින් සිදු විය යුතුද යන ප්‍රශ්නයද ජනමත විචාරණයකට යොමු කළ හැකිය. ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවෙන් නොවේ නම ව්‍යවස්ථා සම්පාදනය හා ප්‍රතිසංස්කරණ ඇති කිරීම සදහා බලය අතුරු ව්‍යවස්ථාවක් මගින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත පැවරිය හැකිය.
එවිට ඊලග මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ අර්බුදය ජයගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරනද ඇති කර ගැනීමෙන් පසුවය. එවැනි මහජන වැඩ සටහනකට අවශ්‍ය දැනුම හා ශික්ෂනය ලංකාවේ ජනතාව නැතැයි කියා විශ්වාස කරන අයද රටේ සිටිති. ඒ සදහා යොදාගන්නා සුලභ නිදර්ශනය වන්නේ පසුගිය ජනාධිපතිවරනයේදී ඡන්දය පාවිච්චි කළ අකාරයයි. ඊට පෙර 2015 ජනාධිපතිවරණයේදී පරාජය කළ නොහැකි බව කී මහින්දව පරාජය කළේද එම ජනතාවය. යහපාලන ආණ්ඩුවේ අසාර්ථකභාවය ඔවුන් තුල ලොකු කලකීරීමක් ඇති කිරීමට හේතුවී තිබුන අතර පාස්කු ප්‍රාහාරය ඔවුන් මානසිකව හිරි වැටුන තත්වයකට පත් කිරීමට හේතු වී තිබුනි. ගෝඨාභය ලැබූ ජයග්‍රහනය කොතරම් විශාල වුවද ජනාධිපතිවරයා අනුගමනය කරන ප්‍රතිප්ත්ති යහපත් නොවන බව පෙනෙන විට ජනතාව සිය පක්ෂපාත භාවය අතහැර බලවත් ලෙස විරෝධය ප්‍රකාෂ කරණ තැනකට ගියේය. කෝවිඩ් ප්‍රශ්නයේදී සෞඛ්‍ය සේවයේ සමහර නිලධාරින්සේම කෘෂි පොහොර ප්‍රශ්නයෙදී කෘෂිකර්මයේ සමහර උසස් නිලධාරීන් පෙන්නුම් කල නිර්භීත බාවය සැලකිය හැක්කේ සදා අමරණීය දේවල් ලෙසය. සාර්ථක මහජන ව්‍යවස්ථා සම්පාදනයන්ට හෙවත් සහභාගි ව්‍යවස්ථා සම්පාදනයන්ට යොමුවූ බොහෝ රටවල් වල ජනයා ලංකාවේ ජනයාට වඩා නූගත්‍ ය. සමහර රටවල් වගුරුවා තිබෙන ලේවල පරිමාවද විශාලය. ලංකාවටද මුහුණ දෙන්න්ට සිදු වී තිබෙන අර්බුද ජය ගැනීම සදහා තෝරාගත හැකි හොදම මාර්ගය මහජන ව්‍යවස්ථා සම්පාදනයකට රට යොමු කිරීමය.

READ:   මහජනයා හරි මතයට ගන්න විදිය - Victor Ivan /System Change Episode 01

  • ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්