දේශීය

දිනකට ළමා හා ස්ත්‍රී දූෂණ 12ක්. ඒවාද වාර්තාවන ඒවා පමණයි!

පසුගිය සතියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තිගස්වනසුලු කතාවක් රටට කීවේය. ඒ, දිනකට ළමා හා ස්ත්‍රී දූෂණ 12ක් රට පුරා වාර්තා වන බවත් ඒ වාර්තා වන තොරතුරු පමණක් බවත්ය. එසේනම් අප ජීවත් වෙන්නේ දෙපැයකට වරක්වත් ස්ත්‍රී දූෂණයක් ළමා අපචාරයක් සිදුවන රටකය. ඒ තත්ත්වයෙන් මිදී ඉදිරිගාමී ප්‍රවේශයක් ලබා ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් තුළ ප්‍රායෝගික ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍යය. ඒ සැලැස්මේ එක් විශිෂ්ට ක්‍රියාන්විතයක් පසුගිය වසරේ මාර්තු මස සිට ඇරඹුණේය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව පුරා පැය 24ම රටේ කාන්තාවන් සඳහා විවෘත වුණේය.
එතෙක් පැයට 08ක කාලයකට සීමා වී තිබුණු මෙම උපකාරක සේවා දුරකථන ක්‍රියාන්විතය පැය 24 පුරාම ක්‍රියාත්මක වන්නේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා අදහසක් ලෙසය.

අපේ සමාජයේ සිටින්නේ ජංගම දුරකථනයක් අත දරන ගැහැනු ය; පිරිමි ය. පැය 24 පුරාම ක්‍රියාත්මක 1938 ගාස්තු රහිත දුරකථන සේවාවේ සහාය ලබා ගැනීමට දිවයිනේ ඕනෑම ස්ථානයක දී පීඩාවට පත්වන කාන්තාවකට දැන් හැකියාව ලැබෙන්නේය. කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහැර, අනීතික නොසලකා හැරීම්, පිළිබඳ ක්ෂණිකව පැමිණිල කිරීමට ඒ දුරකථන අංකය විවෘතය.

1938 පැය 24 සේවාවක් වන්නේ 2020 මාර්තු මස සිටය. 2020 අප්‍රේල් මාසයේ සිට සේවාව සඳහා ලැබෙන පැමිණිලි ප්‍රමාණය දළ වශයෙන් දෙගුණයක ප්‍රමාණයකින් වැඩි වුණේය. 2021 මාර්තු මාසයේ පමණක් 1938ට සමස්ත පැමිණිලි ගණන 449කි. එය 2020 මාර්තුවලට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි. 2020 මාර්තුවල දී ලැබී තිබුණ සමස්ත පැමිණිලි ගණන 199ක් පමණි. වර්ෂ 2020 පුරාම ලැබුණු මෙම සේවාව සඳහා ලැබුණු මුළු පැමිණිලි ගණන 3771කි. මේ වසරේ ගෙවුණු මාස 10ට පමණක් පැමිණිලි 3681ක් වාර්තා වී තිබිණි. 1938 වෙත විශ්වාසනීව කාන්තාවන් ප්‍රවේශ වන ආකාරය පෙනෙමින් තිබෙන්නේය.මේ දත්ත ගොනු මේ රටේ කාන්තාව වින්දිතයන් වන ප්‍රවේශ ගැන කියන්නේය.

වර්ෂ 2020 දී 1938ට පැමිණිලි 3771න් තුනෙන් එකක්, එනම් 1215ක් කාන්තාවන්ට සිදු වූ ගෘහස්ථ හිංසනයන්ය. පවුල් ආරවුල් සම්බන්ධ පැමිණිලි 1109ක් ලැබී තිබිණි. ඉන් අනතුරුව වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කාන්තාවන් සම්බන්ධ අන්ර්ජාල අපරාධ ය.

මේ වසරේ ගෙවුණු මාස 10ට පමණක් පැමිණිලි 3681ක් වාර්තා වී තිබිණි. ඒ දත්ත අතර පසු ගිය මාස 10 තුළ කාන්තාවන් ගෘහස්ථ හිංසනයට ලක් වී ඇති ප්‍රමාණය ප්‍රකාශ කරන ආකාරය අප තිගස්වන්නේය. මෙම පැමිණිලි 3681න් 2519ක් එනම් දළ වශයෙන් තුනෙන් දෙකක් ගෘහස්ථ හිංසනයන්ය.

1938 උපකාරක සේවාවේ ප්‍රධාන වගකීම දරන්නී ජාතික කාන්තා කමිටු සභපතිනී ශිරන්ති බ්‍රියටිස් දිසානායකය.

‍ “ වර්ෂ 2014 දී අරඹා පැය 08කට සීමා කර තිබූ මෙම දුරකථන සේවාව සෞභාග්‍යයේ දැක්ම යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක කළා. තමන්ට ඇතිවන හිංසනය ඕනෑම තැනක සිට පැය 24 පුරාම තමන් වහරන භාෂා තුනෙන් එකකින් ඉදිරිපත් කළ හැකියි. මේ සේවාව සැපයීමේ දී ඕනෑම පැයක නිලධාරීන් 04ක් සම්බන්ධ වෙනවා.

පැමිණිල්ලක් ලැබුණු ක්ෂණයෙන් එය නිශ්චිත ලෙස වාර්තා වෙනවා. මේ පැමිණිලි ලබා ගන්නා නිලධාරියා ඒ සඳහා මැනවින් පුහුණු කළ අයෙක්. පැමිණිල්ලේ ස්වරූපය අනුව ලබා දිය යුතු ක්ෂණික උපදෙස්, ආරක්ෂාව සැලසිය යුත්තේ කෙසේ ද, නීතී උපදෙස් හා උපදේශනයට යොමු කළ යුතු ද යන්න ක්ෂණික තීන්දු ගැනීමේ කෞෂල්‍ය ඔහු ප්‍රගුණ කර තිබෙන්නේ.

සියලුම තොරතුරුවල රහස්‍ය භාවය දැඩි ලෙස ආරක්ෂා කිරීම අපේ වගකීමක්. අපේ කණ්ඩායම හැර පැමිණිලි කිසිම කෙනකුගෙ අධීක්ෂණයකට භාජනය වෙන්නෙ නෑ. පොලිසියට වුවත් නෛතිකව පවත්වා ගැනීම සඳහා දිය යුතු කරුණු පමණයි ලබා දෙන්නේ.

දැනට පැමිණිලි වැඩි වශයෙන් ලැබෙන්නේ මේ සේවාව ගැන වඩාත් දැනුම්වත් බස්නාහිර පළාතෙන්. වයඹ පළාත ගත්තොත් කුරුණෑගලින් වැඩියි. මේ සේවාවෙ වටිනාකම තවම සමාජගත වෙලා නෑ. ඉදිරියෙදි රටට විශාල සේවයක් මේ හරහා අපට ඉටු කළ හැකියි.“

මේ වනවිට 1938ට ලැබෙමින් ඇති වැඩිම පැමිණිල ප්‍රමාණය ලැබෙමින් ඇත්තේ ගෘහස්ථ කාන්තා හිංසනය සම්බන්ධයෙනි. එවැනි අවස්ථාවල මෙම සේවාව හා සෘජුවම සම්බන්ධවන්නේ පොලිසිය ය.

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර යටතේ ඇති ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ අධ්‍යක්ෂිකා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි අප සමඟ සම්බන්ධ වන්නේ මේ පැමිණිලි සම්බන්ධව ක්‍රියාත්මක වන ආකාරය ගැන පැහැදිලි කිරීමටය.

“ 1938 වැඩිපුරම පැමිණිලි එන්නේ වයස අවුරුදු 40ට අඩු කාන්තාවන්ගෙන්. පැමිණිලි ලිඛිතව අපට දැනුම් දුන් පසු සෘජුවම ක්‍රියාත්මක වෙන්න ඕන සිදුවීමක් නම් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය මඟින් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා අදාළ පොලිස් කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දී, ඔවුන් ඒ පිළිබඳ ගත් ක්‍රියාමාර්ග මට දැනුම් දුන්නට පසු මා හරහා තමයි ජාතික කාන්තා කමිටුව දැනුම්වත් කරන්නේ.

“වින්දිතයා ආරක්ෂා කරන්න අපි බැඳී ඉන්නවා. වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියක් තිබෙනවා. ඔවුන් හරහාත් සහන ලබා ගන්න පුළුවන්. “ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි කියන්නී එසේය.

කාන්තා හා ළමා සංවර්ධන විෂයය බාර රාජ්‍ය අමාත්‍යා පියල් නිශාන්ත මහතා පවසන්නේ මෙවැන්නකි.

“ මේ සේවාව බිහි කරමින් අපි රටේ ආදරණීය මවුවරුන්ට, සොයුරියන්ට, දියණිවරුන්ට කීවේ හිංසනයට මුහුණ දෙන්න සිදුවන අවස්ථාවක දී ජීවිතය නැති කරගන්න එපා. අපි මේ දුෂ්කර අවස්ථා බෙදා ගනිමු. ඔබේ ගැටලුවලට විසඳුම් සොයන්නයි අපි මේ සේවාව පටන් ගත්තේ. 1938 හරහා අපි ක්‍රියාත්මක කරන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ලෙස අප වෙත පැවරී ඇති වගකීම. උපුටා ගැනීම : සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

8 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

8 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago