ලංකාවේ පවතින ජනාධිපති ක්‍රමය ගඳ ගහන තරමටම කුණුවී තිබියදීත් ඊට තවදුරටත් පවතින්නට හැකි වී තිබෙන්නේ කෙසේද? මාරුවෙන් මාරුවට එම තනතුර හිමි කර ගැනීමේ හැකියාව ලැබී තිබෙන ප්‍රධාන පක්ෂ දෙක පමණක් නොව පොඩි හෝ සුළු ගනයට වැටෙන පක්ෂද තමන්ටද එම තනතුර ඍජු ලෙස හෝ අනියම් ලෙස අල්ලා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකා ඒ සියලු දෙනා එම ක්‍රමය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසා දූෂිත ජනාධිපති ක්‍රමයට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙතත් ඒ සියලු දෙනා ඊට රහසේ ප්‍රේම කරන බවද පෙනේ.
පොදු අපේක්ෂකයා
ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු පිළිබද අදහස කරළියට ගෙනා පළමු වැන්නා වූයේ රෝහණ විජේවීරය. ඒ 1982 පැවති ජනාධිපතිවරණයේදීය. වාමාංශික පක්ෂවලින් අපේක්ෂකයින් තරඟ බිමට ඒම වලකා වීම වෙනුවෙන් තරඟ කිරීමේ තනි අයිතිය තමන් වෙත හිමිකර ගැනීම ඔහුගේ අපේක්ෂාව වුවත් එය ඔහු අපේක්ෂා කළ ආකාරයට එය වැඩ කළේ නැත. 2010 ජනාධිපතිවරණය පොදු අපේක්ෂකයා පිලිබද අදහස ඉතාමත් සුවිශේෂ ස්වරූපයක් ගනු ලැබූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. සරත් ෆොන්සේකා ජේවීපිය කරලියට ගෙනා පොදු අපේක්ෂකයා විය. පසුව එජාපය හා වෙනත් පක්ෂවලටද ඔහු තමන්ගේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගැනීමට සිදුවිය. එම ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගැනීමට සමත් වී නම් පොදු අපේක්ෂකයා ගේ අයිතිය ගැන ජවිපෙ හා එජාපය අතර ප්‍රශ්න ඇති වන්නට ඉඩ තිබුනි.
2015 ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රධාන අයිතිය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහා වන ව්‍යාපාරය හිමි කර ගෙන තිබුනි. රනිල්ට තරග කිරීමට ඉඩක් නොලැබෙන තත්වයක් ඇති කොට කරු ජයසූරිය පොදු අපේක්ෂකයා කිරීම සෝභිත හිමියන් ගේ අබිලාශය වී තිබුණි. එම අරමුණ ව්‍යාර්ථ කොට මෛත්‍රීපාල සිරිසේන කරලියට ගෙන ඒමට එම ව්‍යාපාරයේම තවත් පිරිසක් සමත් විය. එම තෝරාගැනීම සෝභිත හිමියන් ගේ සතුටට හේතු වුයේ නැතත් එම තීරණය වෙනස් කිරීමේ හැකියාව සෝභිත හිමියන්ට ද තිබුනේ නැත
දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 49 වෙනුවෙන් පොදු අපේක්ෂකයා (මෛත්‍රීපාල සිරිසේන) 2014.12.01 වැනි දින විහාර මහා දේවී උද්‍යානයේදී සෝභිත හිමියන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට ඇතුලත් පළමු පොරොන්දුව වූයේ පවතින විධායක ජනාධිපති ක්‍රමය මාස 06 ක් තුල අහෝසි කොට පාරිලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇති කරන බවය. ඒ සමග එම පොදු අපේක්ෂකයාම ඊට පසු දින ජාතික හෙළ උරුමය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මගින් කියා සිටියේ ජනාධිපති ක්‍රමය යහපත් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කොට එම ක්‍රමය පවත්වාගෙන යන බවය. අවසානයේ ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුයේ සංවිධාන 49 ක් වෙනුවෙන් සෝභිත හිමියන් සමග ඇති කරගත් ගිවිසුම නොව තනි සංවිධානයක් වශයෙන් හෙළ උරුමය සමග ඇති කරගත් ගිවිසුමය. සංවිධාන 49 ක් සමග ඇතිකරගත් එකගත්වයට පටහැනිව එක සංවිධානයක් සමග ඇතිකරගත් එකගත්වය බලවත් විරෝධයක් නැතිවම ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ ජනාධිපති ක්‍රමයට ප්‍රසිද්ධියේ එරෙහිවන අය අතරද එයින් තමන්ට ලබා ගත හැකි ලාභ ප්‍රයෝජන සළකා එම දූෂිත ක්‍රමයට හොර රහසේ ප්‍රේම කල බලවත් පිරිසක්ද සිටිම නිසාය.
ප්‍රතිසංස්කරණ වංචාව
ජනාධිපති ක්‍රමය අරභයා 2015 දී ජනතාවට කරන ලද මහා වංචාව ජාතික ඛේදවාචකයක් බවට පත්වීමෙන් පසුත් ඉතාමත් දූෂිත යැයි කියන ජනාධිපති ක්‍රමය කෙරෙහි දේශපාලන නායකයින් අතර හොර රහසේ පවත්වාගෙන ගිය ප්‍රේමයේ බිද වැටීමක් සිදුවී නැත. ජනාධිපතිවරණයට තරඟ කරන්න හීන දකින සියලු ලොකු කුඩා නායකයින් කල්පනා කරන බව පෙනෙන්නේ ඊලග ජනාධිපතිවරණයට තරඟ කොට එම තනතුරට තේරී පත්වී ඒ බලය යොදාගෙන ක්‍රමය වෙනස් කල යුතුය කියාය. දැන් තිබෙන ක්‍රමය යටතේ ජනාධිපතිවරණයක් සදහා තරග කරන අපේක්ෂකයෙකු කළ යුතු වියදම අති විශාලය. පරණ මිළ ගනන් අනුව තරගයේ සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් රුපියල් බිලියන 06 ක් හෙවත් එක් අයකු සදහා බිලියන 03 කි. වර්තමාන මිළ ගනන් අනුව එය එක් අයකු සදහා බිලියන 05 ක් පමණ විය හැකිය. ඒ සඳහා යන දැවැන්ත වියදම ඔවුන් සොයා ගන්න යන්නේ කෙසේද? එම වියදම පහසුවෙන් සොයා ගැනීමට අවශ්‍ය නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින් ලගට යන්නට සිදු වනු ඇත. තනතුරට පත්වන පුද්ගලයා තුළ තනතුරට හිමි බලයේ රස උරා බීමට කෑදර කමක් ඇති වුවහොත් රටට විය හැක්කේ කුමක්ද?
ප්‍රතිසංස්කරණ ඇතිකල හැක්කේ බලය ලබා ගැනීමෙන් පසුව පමණක්ද? පළමුව ප්‍රතිසංස්කරණ ඇති කොට දෙවනුව බලය ලබාගත් අවස්ථා පිළිබද නිදර්ශන ලෝකයේ ඇත්තේම නැද්ද? දකුණු අප්‍රිකාවේ සිදුවූයේ පළමුවෙන් කිසියම් විශාල ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණ ඇති කිරීමය. බල මාරුවක් සිදුවුයේ ඉන් පසුවය. එහි දේශපාලන ක්‍රමය හා ව්‍යවස්ථාව අවසන් වශයෙන් හදා ගැනීමට අවුරුදු 07 ක කාලයක් ගත විය. කටයුතු සිදුවූයේ ප්‍රධාන අදියර දෙකක් යටතේය. පළමු අදියරයේ කටයුතු සිදුවූයේ අන්තර් කාලීන ව්‍යවස්ථාවක් හා අන්තර් කාලීන භාරකාර ආණ්ඩුවක් යටතේය. මේ අදියර දෙකේ සිදු කළ යුතු දේවල් අන්තර් කාලීන ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබුණි. ආණ්ඩු ක්‍රමයේ මූලික ව්‍යූහය (මහා ආණ්ඩුවේ ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකය හා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් නවය) හා මැතිවරණ ක්‍රමය සකස් කරන ලද්දේ පළමු අදියරයේ දීය. මැතිවරණයක් පවත්වා වසර පහක කාලයක් සදහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගනිමින් පළමු අදිරයේදී එකගත්වයක් ඇති කරගත් මූලධර්ම 34 ට අනුකූලව ව්‍යවස්තාව සම්පාදනය කරන ලද්දේ දෙවැනි අදිරයේදීය.
දකුණු අප්‍රිකානු ක්‍රමය ආදර්ශයට ගනිමින් ලංකාවට ගැලපෙන රාමුවක් අපටද හදා ගත හැකිය. ඇති කරන්නට අපේක්ෂා කරන මූලික වෙනස් කම් හදුනා ගෙන ඒ සදහා පොදු එකගතාවක් ඇති කරගත යුතුය. ඒ සමග ඇති කරන්නට යන වෙනස්කම් වලට අදාල මූලධර්ම හදුනා ගනිමින් ඒ සදහාද පොදු එකගතාවක් ඇති කර ගත යුතු ය. පළමු අදියරයේ දී ඇති කරගත් මූලධර්ම වලට අනුකූලව ව්‍යවස්ථාදායක ආයතන නිර්මාණය කොට ඒවාට නියෝජිතයින් පත් කර ගැනීම සදහා සුදුසු නව මැතිවරණ ක්‍රමක්ද ඇති කර ගනිමින් පළමු අදියර අවසානයේදී ඇතිකර තිබෙන මහජන නියෝජිත ආයතනවලට අවශ්‍ය නියෝජිතයන් පත්කර ගත හැකිය. ඒ සමග නව ආණ්ඩුවක් ද ඇතිවන අතර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මහජන නියෝජිතයන්ට අතිරේකව සිටින පාරලිමේන්තු මන්ත්‍රී වරුන් ඉන් ඉවත් කිරීමක්ද ඒ වෙනුවට අලුතෙන් තේරී පත්වී සිටින මන්ත්‍රී වරුන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එකතු කර ගැනීමක් ද සිදුවිය යුතුය. ව්‍යවස්ථා සම්පාදනයේ ඊළග කටයුතු සම්පුර්ණ කිරීමේ වගකීම භාර වන්නේ අලුතෙන් තේරී පත් මන්ත්‍රී වරුන් ඇතුළත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටය. එවිට පරිවර්ථනයේ ඉතිරි අඩ නිම කිරීමේ වගකීම පැවරෙන්නේ ද එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටය.
බලයට පෙර ප්‍රතිසංස්කරණ
එදා දකුණු අප්‍රිකානු වර්ණ බේද වාදි රාජ්‍යය මුහුණ දී තිබුන අර්බුදය කිසියම් ප්‍රමාණයට වර්තමානයේ ලංකා රාජ්‍යය මුහුණදී තිබෙන අර්බුදයට සමානය. දකුණු අප්‍රිකානු රාජ්‍යය තිබුනේ ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු කිරීමෙන් තොරව එක අඩියක් වත් ඉදිරියට යා නොහැකි අවුලෙන් අවුලට ගිය තත්වයකය. මැන්ඩෙලා ප්‍රමුඛ කල්ලන්ගේ පාර්ශවය ඉදිරිපත් කළ මහජනයා කේන්ද්‍ර කරගත් අදියර දෙකේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට එකග වනවා හැර වර්ණ භේදවාදි සුදු ආණ්ඩුවට තෝරා ගැනීමට වෙනත් විකල්පයක් නොතිබුනි. දැන් ලංකාවේ රාජ්‍යය තිබෙන්නේද හොදටම බෙල්ල හිරකරගත් තත්වයකය. රටේ පවතින අවුල් සහගත තත්වය තව තව උග්‍ර වීමට නියමිතය. දැන් ලංකාණ්ඩුව නැමැති ගුවන් යානය තිබෙන්නේ කාල සටහනට අනුකූලව ගමනාන්තය වෙත යා නොහැකි, සුදුසු අතර මැදි තැනක බස්ස වන්නේ නැතිනම් ගුවන් යානය ගුවනේදී කඩා වැටීමකට පවා ලක්විය හැකි බිහිසුනු තත්වයකය. ගුවන් නියමුවා හිතුවක්කාරිය. ඔහු හිතන්නේ අවදානමක් ඇතත් ගුවන් යානය ගමනාන්තය දක්වාම රැගෙන යා යුතු බවය. ගුවන් නියමුවා කල්පනා කරන විදිය සාධාරණ හෝ යුක්ති සහගත නොවන බව හා ඒ නිසා මගින්ගේ ජීවිත ලොකු අනතුරකට ලක්වන බව මගීන්ට හා සෙසු කාර්‍ය මණ්ඩල සාමාජිකයින්ට පෙනෙන්නේ නම් ගුවන් නියමුවාගේ කැමැත්ත නොසලකා සුදුසු අතර මැදි ස්ථානයකට ගුවන් යානය බැස්සවීමට ගුවන් නියමුවා එකඟ කර ගන්නට ඒ සියලු දෙනාට සිදුවන්නේය. දැන් ලංකාව තිබෙන්නේද ඒ හා සමාන තත්වයකය. රට ඉදිරියේ තිබෙන බිහිසුනු අවදානම ගැන රටේ ජනාධිපතිට හරි අවබෝදයක් ඇති බව පෙනෙන්නේ නැත. ජනාධිපති සිතන ක්‍රමය කුමක් වුවද රටේ පැවැත්ම හා ජනතාවගේ ආරක්ෂාව සදහා ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් රටට අත්‍යාවශ්‍ය නම් ඒ සදහා දොරටු විවෘත කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිට හා ආණ්ඩුවට බලවත් ලෙස බල කරන වැඩසටහනකට රට යොමු කළ යුතුය.
මේ අවස්ථාවේදී මහජනයා තේරුම් ගතයුතුව තිබෙන වැදගත්ම දෙයක් වනුයේ රාජ්‍යයේ සමස්ථ ආයතන ක්‍රමය මේ අකාරයට කඩා බිද වැටී රට අසමත් තත්වයකට පත්ව තිබෙන මෙවැනි විශේෂ අවස්ථාවකදී කඩා බිඳ වැටී තිබෙන සමාජ-දේශපාලන හා ආර්ථික ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සැලසුම් කොට මෙහෙය වීමේ පූර්ණ නෛතික හා සදාචාරාත්මක බලය ඒ රටේ මහජනයාට තිබෙන බවය. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වුවද පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාටය. එය මහජනයාට අහිමි කල නොහැකි බලයක් ලෙසද එහි සදහන් ය. ලංකා රාජ්‍යයට පරමාධිපත්‍යය බලය ලබා දෙන ප්‍රභවය ලෙස ක්‍රියා කරන්නේද මහජනයාය. අන්තර් ජාතික නීතිය අනුවද ඒ බලය මහජනයාට තිබෙන්නේය. මෙවැනි අර්බුදයකදී අර්බුදය ජය ගැනීමට ආධාර වන ව්‍යවස්ථාවක් හදා ගැනීමේ බලය ඇත්තේද ජනාධිපතිට හෝ ආණ්ඩුවට නොව මහජනයාටය. සිවිල් හා දේශපාලන ප්‍රඥප්තියේ 25 වැනි ව්‍යවස්ථාව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ පාඨමය බලාධිකාරය කර තිබෙන අර්ථ කථනය අනුවද අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය අවස්ථාවකදී ඊට මුල පිරීමක් කොට එම ක්‍රියා දාමය පවත්වාගෙන යාමේ බලය මහජනයාට හිමිය.
පරමාධිපත්‍යය බලය යොදා ගැනීම
මහජනයා රට මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීම සදහා තමන්ට හිමි පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමට තීරණය කොට මහජනයා කේන්ද්‍ර කරගත් නීතියට අනුකූල ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින හා හඬ නගන තත්වයකට ගිය හොත් දැන් රටේ පවතින සමාජ-දේශපාලන වටපිටාව තුල මහජනයා ගේ එම ඉල්ලීම පරාජය කිරීම සරල හෝ පහසු වන්නේ නැත. එය නීතිගරුක හා බලවත් මහජන උත්සහායක් වේ නම් ප්‍රතිසංස්කරණ සදහා දොරටු විවෘත කිරීමෙන් වැලකී සිටීම පහසු වන්නේ නැත. ඒ සදහා ගනු ලබන ආරම්භක ක්‍රියා මාර්ගයක් වශයෙන් මහජනකාට තනි තනිව හා සමූහ වශයෙන් ජනාධිපති අමතා පෙත්සම් යැවිය හැකිය. එසේම වෘත්තීය සමිති සංවිධාන, ගොවි සංගම්, ධීවර සංගම්, වෘත්තීය වේදි සංගම් හා වෙනත් මහජන සංවිධාන මහජනයා කේන්ද්‍රකරගත් ව්‍යවස්ථා සම්පාදනයක් ඇතුලු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඉල්ලා යෝජනා සම්මත කර ගනිමින් ඒවා ජනාධිපති වෙත යැවිය හැකිය. ආණ්ඩුවට කර හැරීම පහසු නැති තත්වයක් ඇති කිරීමට හේතුවන ලෙස බලවත් මහජන උද්ඝෝෂනයක් කරළියට ගැනීම එහි අරමුණ විය යුතුය. ඒ අරමුණ දිනා ගැනීමට ප්‍රයෝජනවත් සියළු ක්‍රියා මාර්ග ගත යුතුය. ඒ මගින් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දිනා ගැනීමට සමත් වෙතොත් ආණ්ඩු බලය සදහා මැතිවරණ පැවැත්වෙනු ඇත්තේ එම ප්‍රතිසංස්කරණ වැඩසටහන කිසියම් ප්‍රමාණයකට සම්පූර්ණ කිරීමෙන් පසුව මිස ඊට පෙර නොවේ. එහිදී ඇතිකරන මැතිවරණ ප්‍රතිසංස්කරණ නීති විසින් රටේ කලු සල්ලිකාරයින්ට බලයට පත් වීමට නියමිත පාලකයන් හා මහජන මන්ත්‍රීවරුන් මිළදී ගැනීමට ලැබී තිබුන හැකියාව මුලු මනින් අහිමි කරනු ඇත. එසේම මැතිවරණවලදී ධනවත්කමට පාදඩකමට ලැබෙන වැදගත්කමද අහෝසි වී උගත්කමට හා දක්ෂතාවන්ට ලැබෙන වැදගත්කම ඉහළ දැමීමට හේතුවනු ඇත. එවැනි මහජන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ආණ්ඩුව දොර අරින්නේ නැතිනම් පමණක් එම වැඩසටහන ඊළග මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කිරීම සදහා යොදා ගැනෙන ප්‍රධානම මහජන වැඩසටහන බවට පත් කර ගත හැකිය.
මෙම ලිපිය අවසන් කරමින් තිබෙන අවස්ථාවකදී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා ජනාධිපති පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් කර තිබෙන බවත් එම කෙටුම්පත ලබන වසරේ ජනවාරියේදී පාරලිමේන්තුවට ඉදිරි පත් කරන බවත් විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව අසන්නට ලැබුනි. ලංකාව දේශපාලන අර්ථයෙන් කොතරම් ගොබ්බද (මෝඩකමටත් එහා ගිය) යන්න එම ප්‍රකාශය ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාලකයින්ගේ දෙයක් නොව මහජනයා ගේ දෙයකි. එය සංස්ථාපනය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද විෂයේදී ආණ්ඩුවට තිබෙන්නේ ලස්සන ඉතිහාසයක් නොව අවලස්සන ඉතිහාසයකි. ආණ්ඩුවේ නායකයින්ට එරෙහිව පවරා ඇසෙමින් තිබූ අපරාධ නඩු ඉවත් කරගනු ලැබු ආකාරය පමණක් වුවත් ආණ්ඩුවේ දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධි ස්වභාවය තේරුම් ගැනීමට ප්‍රමාණවත් ය. ආණ්ඩුවේ එම ප්‍රවේශය රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. ජාත්‍යන්තර නීතියටද පටහැනිය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 25 වැනි ව්‍යවස්ථාවට එකසත් ජාතීන්ගේ පාඨමය අධිකාරිය ලබාදී තිබෙන අර්ථ කථනයටද පටහැනිය


