දේශීය

වැලමිටියාවේ කුසලධම්ම හිමියන් අපවත්වෙයි

උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කර ඇත.

1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබා ඇත.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමිට මෙම පින්වන්ත දරුවා දැකගන්නට ලැබුණු අතර ගති ලක්‍ෂණ අනුව අනාගත නායකත්ව ලක්‍ෂණ හා ගුණගරුක බව ඇති භාග්‍යසම්පන්න දරුවකු බව වටහා ගත් යක්කඩුවේ නාහිමි, හුරුක්ගමුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ හුරුක්ගමුවේ ගුණරතනනායක හිමියන්ගේ ද අවසරය ලබාගෙන මහණ කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට කැඳවා ගෙන එන ලදී.

නිර්මල සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින පෑලියගොඩ විද්‍යාලංකාරය පින්බිමේ පැවති අසිරිමත් ධර්ම සංගායනාව සියසින් දැක ගැනීමේ වරම් හිමි කරගත් මේ කුලකුමරු 1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ එවකට පරිවේනාධිපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කරන ලදී.

එම කාලයේ දී තරුණ කුසලධම්ම හිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය, භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් ලැබුනේ විශාල පිටුවහලකි. නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යත උපසම්පදාව ලබා ගත් කුසලධම්ම හිමියෝ 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්හ.

ඉන්පසු උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන ධර්මශාස්ත්‍ර සේවාව ආරම්භ කළ අප නාහිමියෝ එහි ප්‍රථම කෘත්‍යාධිකාරී දූරයට ද පත් වූහ. පසු ව එහි පරිවෙණාධිපතීත්වයට පත් උන්වහන්සේ එම පිරිවෙනේ දියුණුවට කර ඇති මෙහෙය සුවිශාලය.

වර්ෂ 1983 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ ධූරයට පත් වූ උන්වහන්සේ 1989 දී තත් විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති නම් කෙරුණු ලැබූවත් අප්‍රමාණ ගුරු භක්තිය හේතුවෙන් ඒ වන විට රෝගාතුරව පසු වූ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන්ට එම ධුරය පිරිනැමීටම තරම් කුසලධම්ම හිමියෝ අනතිමානී වූහ. නාත්තන්ඩියේ නාහිමියන් 1990 දී අපවත් වීමෙන් අනතුරුව පරිවේනාධිපතිත්වයට පත් අප නාහිමියන් එතැන් සිට අද දක්වා අපවත් වන තුරු ම සිදු කළ අසදෘෂ මහා සේවාව මෙරට ශාසන ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් සනිටුහන් කළේ ය.

විචිත්‍ර ධර්ම කථිකත්වයකින් හෙබි අපේ නායක හිමි දිවයිනේ සතර දිග්භාගයෙන් ලැබෙන ධර්ම දේශනා සඳහා ආරාධනා පිළිගෙන ඒවාට වැඩම කරන ලද්දේ ඉතා සංතෘප්තියෙනි. කවදත් කොතැනත් උන්වහන්සේගේ සිනහ මුසු මුහුණ වියතුන් සබා මැද බැබළුණි.

තමාට ලැබෙන සෑම දෙයක් ම අනුන්ට පරිත්‍යාග කරමින්, තමා හමුවට පැමිණෙන සෑම දෙනාටම ඉහළම ආකාරයෙන් ආගන්තුක සත්කාර සිදු කරමින් චාම් ජීවිතයක් ගත කළ නාහිමියන්ගේ හදවත අනුන්ගේ දුකේ දී උණුවන, කරුණා ගුණයෙන් පිරුණකි.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ තමාට කෙතරම් තනතුරු ලැබුන ද ඒ සියල්ලට වඩා බුදුරාජාණන් වහන්සේට තිබූ ශ්‍රද්ධාව මුල් කොට සිය දිවිය ගත කළහ. සෑම මසක ම අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දිවියේ සිරිතක් විය

එවන් වූ අපරිමිත ගුණ සමුදායකින් හෙබි ව ශ්‍රී ලංකා ශාසන භාර මහ තෙර නමක් ලෙසින් වැඩ සිටි අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයෙන් නිවී සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු.

සංගායනා

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

10 hours ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

15 hours ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

2 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

3 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

3 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

3 days ago