දේශීය

ජනපතිකමට සිහින දැකීම ; වික්ටර් අයිවන්

ලංකාව දැන් රටක් වශයෙන් තිබෙන්නේ වළේ පතුලටම ඇද වැටුන බිහිසුනු හා අවාසනාවන්ත තත්ත්වයකය. රටේ සමස්ත ක්‍රමය(සමාජ-දේශපාලන හා ආර්ථික )බොහෝ දුරකට ක්‍රියා විරහිත, බිඳ වැටුනු හෝ අසමත් භාවයට පත් තත්ත්වයකය.
                       

රටේ තත්ත්වය
රටේ සමාජ ක්‍රමය තිබෙන්නේ ඒකාග්‍රතාවය අහිමි කරගත් කැබලි වූ තත්වයකය. රටේ දේශපාලන ක්‍රමය, රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය තිබෙන්නේද ජරාජීර්ණ වී, දූෂණයෙන් කුණුවී ක්‍රියාකාරිත්වය විශාල ප්‍රමාණයකට  බිඳ වැටුන තත්ත්වයකය. රටේ ආර්ථිකය  තිබෙන්නේද බංකොළොත් භාවයට පත් වීමට ආසන්න තත්වයකය. 
රක්ෂා අහිමිවී සිටින අයගේ සංඛ්‍යාව විශාල වුවත් එම සංඛ්‍යාව කොතරම්ද කියා ගනන් බලා නැත. රක්ෂා කරන අයට ලැබෙන ආදායම්ද පහළ වැටී  ඇත. ජීවන වියදමද ඉසිලිය නොහැකි තරමට වේගයෙන් ඉහල යමින් පවතී. ඩොලරයක් සඳහා වන රුපියලේ හුවමාරු අනුපාතිකයද හැල්මේ ඉහල යමින් පවතී. දැන් එය රුපියල් 206 කට ආසන්න තත්වයකට ඉහළ නැග තිබෙන අතර මුදල් ඇමතිගේ මතය අනුව එය රුපියල් 350 දකවා ඉහළ යාමට නියමීතය. ආනයන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම නවතා දමා තිබෙන අතර බොහෝ ආනයන භාණ්ඩ මිලදී ගැනීමට හැකිවනු ඇත්තේ ඒවා වෙළද පොලේ තිබෙන තාක් පමණය.
රටක් වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ ප්‍රමාද කිරීමකින් තොරව පොදු ජාතික එකගතාවකින් යුතුව රට මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සදහා අවශ්‍ය ව්‍යූහමය ප්‍රතිසංස්කරණ ඇති කර ගනිමින් රටේ සමාජ දේශපාලන ක්‍රමය සමඟ රාජ්‍යය ප්‍රති නිර්මාණය කර ගතයුතු තත්ත්වයකය. එසේ නොකොලහොත්  ඇති වී තිබෙන අසමත් භාවය ගල්ගැසුන දෙයක් බවට පත් විය හැකිය .එසේ වුවහොත් ඒ වෙනුවෙන් රටට ලොකු වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය විය හැකිය.
එහෙත් ආණ්ඩුව හෝ විරුද්ධ පක්ෂය ඇතිවී තිබෙන මෙම අර්බුදය පොදු ජාතික එකඟතාවක් ඇතිව ඇති කරගන්නා ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකින් ජය ගතයුතුව තිබෙන අර්බුදයක් බව තෙරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නේ නැත. එම අවබෝධය රටේ උගතුන් තුළ පවා තිබෙන බවක් පෙනෙන්න්ට නැත. අර්බුදයට ඉබේ විසදෙන්නට ඉඩ හැර බලා සිටීම ඒ සියලු දෙනාගේම ක්‍රමය වී තිබේ. මේ ඓතිහාසික මොහොතේ දී රට බුද්ධිමය වශයෙන් ඇද වැටී තිබෙන ඔලමොට්ටල බවේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.
                 

ජනාදිපති සිහිනය
ලංකාවේ දේශපාලන නායකයින් ගේ හා දේශපාලන පක්ෂවල ප්‍රධාන අවදානය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය වෙත යොමුවී තිබෙනවාට වඩා ඊලග ජනාදිපතිවරණය කෙරෙහි යොමුවී තිබෙන බව පෙනේ. ඊලග ජනාදිපතිවරණයට තරඟ කරන්නට සිහින දකින අය ඒ බව විවිධ සංඥා ජනතාවට දැනුම් දීමට උත්සහා කරන ආකාරයක් පැහැදිලිව දැකිය හැකිය. විජේදාස රාජපක්ෂගේ රංගනය සැලකිය හැක්කේද ඒ සඳහා දෙන ලද සංඥාවක්  වශයෙනි. රනිල් වික්‍රමසිංහ පවා ජනාදිපති තරගයට එන බව පෙනෙන්නට තිබේ.
ඊලග ජනාදිපතිවරණයට තරඟ කරන්නට සිහින දකින සියලු දෙනා තමන් මේ රටේ රාජ්‍යය නායකයා වියයුතු යැයි කල්පනා කරන සුවිශේෂ පුද්ගලයින් ලෙස සැලකිය හැකිය. මේ රටේ ඇතිවී තිබෙන කුණුවීම, බිදවැටීම හා අසමත් භාවය හා ලංකාවේ ක්‍රියාත්මක වන ජනාදිපති මාදිලිය අතර වෙන්කල නොහැකි අන්තර සම්බන්දයක් ඇතිබව ඊලග ජනාදිපතිවරණයට තරග කරන්න සිහින දකින අය නොදන්නේද?
ලංකාවේ ක්‍රියාත්මක වන ජනාදිපති මාදිලිය ඇමරිකාවේ ඇති සම්භාව්‍ය මාදිලියට වඩා වෙනස්‍ ය. එය ලංකාවට පමණක් සුවිශේෂ ලුම්පන් මාදිලිය ලෙස සැලකිය හැකිය. එම මාදිලිය අනුව රාජ්‍යයේ සකළ විද බලය ඇත්තේ ජනාදිපතිටය. ඔහු නීතියට ඉහලින් සිටින අතර අධිකරණයට පාර්ලිමේන්තුවට හෝ වෙනත් කිසිදු ආයතනයකට වගකීමට බැදී නැත. රටේ පොදු දන සම්පත්වල බාරකාරයා ලෙස ක්‍රියා කරන්නේද ඔහුය. පුදුමයකට මෙන් ලංකාවේ ජනාදිපති ක්‍රමය සකස් කර තිබෙන්නේ ජනාදිපති බාරයේ තිබෙන පොදු වස්තුව අයථා පරිහරණයකට ඉඩක් නැති තත්ත්වයක් සහතික කිරීමට හේතුවන විදිවිධාන හෝ සංවිධාන ක්‍රම නැතුවය. ඒ නිසා තමන් භාරයේ තිබෙන පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීමේ හැකියාව ජනාදිපතිවරුන්ට ලැබී තිබෙන අතර එම හිඩස ජනාදිපතිවරුන් විසින් සිදුකරන මහා පරිමාණයේ වස්තු කොල්ලයක් ඇති කිරීමට හේතුවී තිබේ.
                 

රටේ සාරය උරාබීම
මේ දූෂිත ක්‍රමය ඇතිකල ජේ. ආර්. ජයවර්ධන ගේ සිට මේ දක්වා බලයට පත් සියලු ජනාදිපතිවරුන් තමන් භාරයේ තිබෙන වස්තුව අයථා ලෙස තමන් වෙත හිමිකර තිබෙනවා සේම ගජ මිතුරන් වෙත හිමි කර දී තිබේ. ඒ මගින් මෙතෙක් ජනාදිපතිවරුන් රටට කර තිබෙන අලාභයේ තරම ගනන් බලන තැනකට ගියහොත් එය ගනන් ගන්නට සිදිවනු ඇත්තේ බිලියන දහස් ගනන් වලිනි. 
ජනාදිපතිවරුන් තමන් බාරයේ තිබෙන වස්තුව අයථා ලෙස හිමිකරගන්නා බව කවුරුවත් නොදැන සිටි රහසක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් මොන හේතුවක් නිසා හෝ ඒ ගැන කිසිවෙක් කතා නොකලේය. දේශපාලන විචාරකයින් පවා ඒ ගැන කිසිවක් ලියා නැත. ආණ්ඩු ක්‍රමයට ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කෙරෙන අවස්ථාවලදීද තමන් භාරයේ ද්තිබෙන වස්තුව අයථා ලෙස අත්පත් කරගැනීමට ජනාදිපතිට තිබෙන හැකියාව අහිමි කරන යෝජනා ඉදිරිපත් නොවීය. තමන් භාරයේ තිබෙන වස්තුව කොල්ලකෑමට ජනාදිපතිට තිබෙන අයිතිය ආරක්ෂා කරගත යුතු දෙයක් ලෙස සලකා ඒ සියලු දේවල් සිදු වී තිබෙන බව පෙනේ.
ලංකාවේ ක්‍රියාත්මක වන ජනාදිපති ක්‍රමය අනුව ජනාදිපතිවරයා කරන වෙනත් වැරදි වලදී සේම අයථා ලෙස වස්තුව හිමිකර ගැනීම් වලදීද ජනාදිපතිවරයා ආරක්ෂා කිරීමට ආණ්ඩු පක්ෂය බැදී සිටී. ඒ වෙනුවෙන් ජනාදිපතිවරයා ඔවුන්ට බාරදී තිබෙන ක්ෂේත්‍ර වලදී ඔවුන් විසින් නීතියට පටහැනිව කරන වස්තු කොල්ලයන් හිදී ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් පවත්වාගෙන යයි. රටේ ස්ථාපිත වී තිබෙන මේ ක්‍රමය අනුව ජනාදිපති බලය හිමිකර ගන්නා පක්ෂයට හෝ පක්ෂ සංධානයට රටේ පාලන බලයට අතිරේකව රටේ වස්තුව කොල්ල කෑමේ අයිතිය ද හිමිය. විරුද්ධ පක්ෂය තමන්ට ඒ අවස්ථාව ලැබෙන තෙක් ඉවසීමෙන් අල්ලා ගෙන සිටිය යුතුය.
             

අපේක්ෂා කරන්නේ කුමක් ද?
ලංකාවේ ක්‍රියාත්මක වන මෙම ජනාදිපති මාදිලිය ලංකාවේ ඇතිවී තිබෙන මහා පරිහානිය හා විනාශය කෙරෙහි බලපා තිබෙන හේතුන් අතර තිබෙන ප්‍රබලතම හේතුවක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ බව ඊලග ජනාදිපතිවරණයට තරග කරන්නන්ද දැන සිටිය යුතුය. ජනාදිපතිවරුන් පවත්වාගෙන යන තමන් භාරයේ තිබෙන පොදු වස්තුව කොල්ලකෑමේ ප්‍රතිපත්තිය ගැන ඒ අය දැන සිටියේද? ඒ ගැන කොයි කවරදා හෝ විවේචනයක් කර තිබේ ද? වීවේචනයක් කර නැති නම් එසේ නොකලේ එම කොල්ලකාරි ප්‍රතිපත්තිය අනුමත කරන නිසාද? නැතිනම් එවැන්නක් සිදුවන බව නොදැන සිටි නිසාද?
මෙම දූෂිත කොල්ලකාරි ක්‍රමය අවසන් කිරීමට හේතු වන ප්‍රායෝගික වැඩ සටහනක් කරලියට ගැනීම සඳහා ක්‍රියා කරනවා වෙනුවට සමස්ත ක්‍රමය කඩා බිද වැටී තිබෙන අවස්ථාවක ඊලග ජනාදිපතිවරණයට තරඟ කරන්නට සිහින දකින්නේ ඇයි? මහා පරිමාණයෙන් අයථා ලෙස වස්තුව උපයා ගැනීමට තිබෙන ආශාව නිසාද? නැති නම් ලංකාව ගලවා ගැනීම සදහා ද? ජනාදිපතිවරණයට දරන්නට සිදුවන විශාල වියදම(2015 දී එය බිලියන 3 ක් හෙවත් රුපියල් මිලියන 3000 ක් විය) ලබා ගන්න අපේක්ෂා  කරන්නේ කෙසේද? එසේ ලබා ගන්නා එම දැවැන්ත මුදල ආපසු ගෙවන්න බලාපොරොත්තු වන්නේ කෙසේද?

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago