Thursday, June 11, 2026
Homeදේශීයඅපරාධ,සිවිල්,සහ වාණිජ නීති ප්‍රතිසංස්කරණයට කමිටු 3ක්

අපරාධ,සිවිල්,සහ වාණිජ නීති ප්‍රතිසංස්කරණයට කමිටු 3ක්

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට අදාළ පූර්ණ කාලීන අනු කමිටු 3 ක් මේවන විට ක්‍රියාත්මක වන බවත් තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මේඅනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කමිටුව අමතමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ හිටපු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා කියා සිටියේ පුද්ගලයෙකු අපරාධකරුවකු ලෙස නම් කිරීම වෙනුවට වගකිවයුතු පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම සදහා අපරාධ නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්පය සමග බැඳී ඇති ප්‍රජා මූලික විශෝධනය වැදගත්වන බවයි.

මෙම පරමාර්ථය උපදේශක කමිටුවට ස්ථර දෙකක් හරහා කළ හැකි බව සහකාර මහලේකම්වරයා පෙන්වා දුන්නේය. පළමුවැන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීම සඳහා දේශපාලන නායකත්වය ඇතුළත් දේශපාලන ස්ථරය බවත් දෙවන ස්ථරයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ වෘත්තිකයන් ඇතුළත් වන අතර අදාළ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වඩාත් අර්ථාන්විත ප්‍රතිළුලයක් උදෙසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට කැමති සියලු දෙනා සම්බන්ධ කර ගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවයි. බන්ධනාගාරවල රැදවුවන් සදහා ධාරිතාව 11,000 ක් පමණ වුවද කොවිඩ් වසංගතය ඇතිවීමට පෙර සහ සාමාන්‍ය තත්වයන් යටතේ දළ වශයෙන් 30,000 – 33,000 අතර සංඛ්‍යාවක් දක්වා බන්ධනාගාරවල සිටි බවත් බහුතරය රිමාන්ඩ් සිරකරුවන් පමණක් වන අතර, වැරදිකරුවන් වන්නේ ආසන්න වශයෙන් 8000 ක් පමණක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින 90% ක් හෝ ඊට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් නොවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 2018-2019 සංඛ්‍යාලේඛන අනුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධව ඇත්තේ නඩු 114 ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. එසේම අත්අඩංගුවට ගත් අයගෙන් 99% ක් එනම් ආසන්න වශයෙන් 3300 ක රැදවූවන් සතුව තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක් පමණක් බවත් මෙහිදී හෙළිවිය.

READ:   රන් මිල පහළට

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ ඇමතිවරයා ඉහත සඳහන් වූ නඩු ප්‍රමාණය නිසා මත්ද්‍රව්‍ය වලට අදාළ මහා පරිමාණ අපරාධ නඩු දික්ගැස්සෙමින් තිබෙන බව පැහැදිලි වන්නේ යැයි පැවසීය. එවැනි කුඩා චෝදනා මත රිමාන්ඩ් භාරයට පත්ව සිටින පුද්ගලයන් වගකිවයුතු පුරවැසියන් ලෙස ප්‍රජා විශෝධනය යටතේ සමාජ ගත කිරීම, එම පුද්ගලයන් දරුණු ගනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සිර ගෙවල් වලදී සම්බන්ධ වීමට ඉඩ තැබීමට වඩා වැදගත් වන බවද ඇමතිවරයා පැවසීය.

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්