දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කෝප් කමිටු රැස්වීම අතරමඟ අත් හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, එම ආයතනය විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට කාරක සභා සාමාජිකයෝ තීරණය කළහ.

සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැති රැස්වීමට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරික්ෂණය වී ඇතැයි කාරක සභාවේ සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතා මෙහිදී කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ජනතා අප්‍රසාදය ඉහළ ගොස් ඇති බවත් එය එක් පාර්ශවයකට පමණක් හිමි දෙයක් නොව රටට අයත් දෙයක් බවත් හෙතෙම අවධාරණය කළේය.2017 වසර වන විට රුපියල් මිලියන 240 කට අධික මුදලක නොනිමි වැඩ වලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම්, වැඩභාර ගැනීමේ ලිපි සහ වැඩ ආරම්භ කිරීම හා අවසන් කළ යුතු දිනයන් යනාදී සම්බන්ධිත ලියවිලි විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කාරක සභා සාමාජිකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළහ.

කාරක සභා රැස්වීමේදී හෝ එම ලිපි ගොනු නිවැරදිව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් විය. 2020 වසර වන විට එලෙස විගණනයට ඉදිරිපත් නොකර තිබූ නොනිමි වැඩ වලට අදාළ ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 511 ක් දක්වා ඉහළ යාම සම්බන්ධවද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය.

2018 වසරේදී දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29 ක මුදල මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධව කාරක සභාව ප්‍රශ්න කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා කාරක සභාවට දැන්වීය. මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මසක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස සභාපති මහාචාර්‍ය චරිත හේරත් මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

එම මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයෙකුගේ ගිණුමකට ඇතුළත්ව ඇති බවත්,එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුව ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බව පෙන්වා දුන් කාරක සභාව ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසීය.

හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් කාලය වසර 03 ක් වුවද නියමිත කාලයට පෙර ඔහු ඉවත් කිරීමට සිදු වූයේ බලාපොරොත්තු වූ වෙනස ඔහුගෙන් සිදු නොවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාවට දැනුම් දුන්නේය.

චන්දික හතුරුසිංහ මහතා පවරා ඇති නඩුවට අදාළ නඩු ගාස්තු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට රුපියල් මිලියන 20 ක් වියදම් කර ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා වසර කිහිපයකම සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. වහාම එම වාර්තා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කරන කරන ලෙස කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

මෙම කාරක සභා රැස්වීම පැය එක හමාරකට පමණ සීමා වූ අතර, තවත් මසකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත කැඳවීමටද තීරණය කෙරිණී.මෙම කාරක සභා රැස්වීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

17 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

17 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago