Monday, April 20, 2026
Homeදේශීයකොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ජනපති භාර ගනියි

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ජනපති භාර ගනියි

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ්(AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායි හි “සීරම් ඉන්ස්ටිටියුට්” ආයතනය විසින් නිෂ්පාදනය කර තිබේ.

එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරණ ගුවන් යානය අද  පෙ.ව 11.45 ට බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලට ළගා විය. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1323 කි.එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර ඇත. සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තැබේ.

එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29)  ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද එන්නත් ලක්ෂ 03ක තොගයක් ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.එන්නත ගැනීම පුද්ගලයන්ගේ ස්වාධීන තීරණයකි. අකමැති අයට නොගෙන සිටීමට හැකි බව ද වීරතුංග මහතා කියා සිටී.

මේ අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයාජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්  පිළිගැන්වීය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග,රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,චන්න ජයසුමන,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ,යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු,සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

READ:   කොටි පැටවුන් කොටි මවට භාර දෙන්න මෙහෙයුමක් අරඹයි

DINAMINA

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්