අතවරයන් සහ විවිධ හේතූන් මත ගැබිනියන් බවට පත් වූ කාන්තාවන්ගේ දරුවන් 30 දෙනකු නීතිවිරෝධී ගිවිසුම් මත තෙවන පාර්ශ්වයකට මුදලට විකිණූ ජාවාරම්කරුවකු මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පෙරේදා (21) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ජාවාරම්කරු මොරටුව නගරය කේන්ද්‍රගතව ස්ථාන දෙකකදී දීර්ඝ කාලයක් මෙම ජාවාරමේ නිරතව ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (22දා) පැවැසීය.
ජාවාරම්කරු අන්තර්ජාලය ඔස්සේ වෙළද ප්‍රචාරක වීඩියෝ පටයක් මගින් අසරණභාවයට පත් ගැබිණි කාන්තාවන් මොරටුව, කල්දේමුල්ල සී.පී.ද සිල්වා මාවතේ සහ දහම් මාවතේ පිහිටි නීතිවිරෝධී මධ්‍යස්ථාන වෙත ගෙන්වාගෙන නීතිවිරෝධී ගිවිසුමකට එකග කරගනිමින් මෙම ජාවාරම සිදුකර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්නකිරීම් මත මොරටුව ප්‍රදේශයේ අදාළ මධ්‍යස්ථාන දෙක අධිකරණ නියෝගයක් මත පරීක්ෂා කල බවත් ඒ වනවිටත් කාන්තාවන් 12ක් එම ස්ථානයේ රදවාගෙන සිටියදි සොයාගත් බවත් ඉන් මව්වරුන් 05කගේ දරුවන් මේ වනවිටත් වෙනත් පාර්ශවයක් වෙත භාරකාර ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

දරුවෙකු ස්ථිර හිමිකාරිත්වයෙන් වෙනත් අයකු වෙත පැවරීමේදී දිසා අධිකරණයක් මගින් අවසර ගැනීම සිදුකල යුතු වූවත් එවැනි කිසිදු නෛතික ක්‍රමවේදයක් නොමැතිව මොහු මෙම ජාවාරමේ නිරතව ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම, ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ චෝදානා යටතේ ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මොරටුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවත් ඉදිරි විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවා
උපුටා ගැනීම දිනමිණ


