Wednesday, April 15, 2026
Homeදේශීයහාරලක්සෙ මංකොල්ල

හාරලක්සෙ මංකොල්ල

හාරලක්සෙ මංකොල්ලයසහ ජෝන් සිල්වා ඝාතනයහාරලක්සේ මංකොල්ලය නමින් ප්‍රකට කලම්බො ටර්ෆ් ක්ලබ් නොහොත් කොළඹ තුරඟ තරග සමාජයේ මහා මංකොල්ලය සිදු වූයේ මින් වසර 70කට පමණ ඉහත එනම් 1949 ජනවාරි 31 වැනි දිනය. එවක සිදුවු විශාලතම මංකොල්ලය ලෙස එය ඉතිහාසයට එක්විය. අහිංසක මෝටර් රථ රියැදුරකුට නිරපරාදේ තම ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවු එම මංකොල්ලයට සම්බන්ධ විත්තිකරුවන් අට දෙනෙකුට චෝදනා හතරක් යටතේ නඩු පැවරිනි. මෙම කොල්ලයේ මහමොළකරු වූ එම්. ඒ. ‍‍ෙදාන් ජේම්ස් සෙනෙවිරත්න මෙම කොල්ලය සැලසුම් කරන ලද්දේ තම මස්සිනා වූ ලෑතර බාස් නමැත්තා බේරා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට බව පැවසේ.

මින් ඉහත පොස්ටුවකින් මා සඳහන් කළ වයිට් හවුස් මංකොල්ලයේ පළමුවැනි විත්තිකරු වූයේ ලෑතර බාස්ය. වතු පාලකයකු වු වයිට්හවුස් මහතා ඝාතනය කර මුදල් කොල්ලකෑමට උත්සාහ කළද ලෑතර බාස්ට මුදල් හමු වූයේ නැත ඒ වෙනුවට ලැබුණේ එළවඵ මල්ලක් පමණි. කලම්බො ටර්ෆ් කල්බ් හෙවත් කොළඹ තුරඟ තරග සමාජයේ අශ්ව රේස් තරග පැවැත්වූයේ සෙනසුරාදා දිනවලය. මෙරට ඉහළ සමාජයේ ධනවතුන් හා සුදු මහත්වරුන් විනෝදය පිණිසද සාමාන්‍ය පුද්ගලයෝ කිසියම් මුදලක් දිනාගැනීමේ අරමුණ ඇතිවද එහි ඔට්ටු ඇල්ලීමට පුරුදුව සිටියහ. සතියකට වරක් විශාල මුදලක් එම සමාජයට ලැබිණි. රුපියල් 2, 5, සහ 10යේ නොට්ටු මිටිවලින් සමන්විත එම මුදල් සඳුදා දිනයේ බැංකුවේ තැන්පත්කරන තුරු ප්‍රධාන අයකැමිවරයා යටතේ පැවති මුදල් සේප්පුවක තැන්පත් කෙරිණි.

වර්තමානයේ කොළඹ රීගල් සිනමාහල අසල එදා තිබුණේ කුලියට රථවාහන සපයන සංචාරක සමාගමකි. ආම්ස්ට්‍රොන් ටුවරිස්ට් ඒජන්සිය නම් එම සමාගම ප්‍රකට වූයේ ආම්ස්ට්‍රෝං ගරාජය ලෙසිනි. සෑම සඳුදාවකම කොටුවේ පිහිටි චාටඞ් බැංකුවට (කාර්ගිල්ස් හා මිලර්ස් සමාගම ආසන්යේ මෙය පිහිටා තිබිණි.) යෑම සඳහා මගීන් සත් දෙනකුට පහසුවෙන් ගමන් කළ හැකි වාහනයක් තුරග තරග සමාජයට ලබා දුන්නේ ආම්ස්ට්‍රෝං ගරාජයෙනි. ආම්ට්‍රෝං ගරාජය සතුව ෂවලේ (චවලට්) විශාල මෝටර් රථ හතරක් තිබූ අතර බොහෝ විට තුරඟ තරග සමාජයේ සේවය සඳහා යැවුණේ ඉසෙඞ් 6033 වර්ගයේ නිල්පැහැති මෝටර් රථයයි. එහි රියදුරු වූයේ ජෝන් සිල්වා නමැත්තෙකි. එවක 56 හැවිරිදි ජෝන් සිල්වා ඉතා සුහද කාරුණික පුද්ගලයකු විය. සෑම සඳු දිනකම ඉසෙඞ් 6033 රථය තුරඟ තරග සමාජය වෙත යන්නේ උදෑසන 8ටය. එය පිටකොටුව පොලිසියට ගොස් එහි සේවය කරන පොලිස් නිලධාරියකුද රථයට නංවා ගන්නේ මුදල්වල ආරක්ෂාව පිණිසය. පොලිස් නිලධාරියාද සමඟ රාජකීය විද්‍යාලය ඉදිරිපිට ඇති තුරඟ තරග සමාජය වෙත එන ජෝන් සිල්වා එහි පිවිසි විට එයට මුදල් සහිත ට්‍රන්ක පෙට්ටි පැටවීම සිදු වේ. තුරග තරග සමාජය සතු වෑන් රථයක් විය. එම රථයේ රියදුරා වූයේ ගිල්බට් ඩයස් නම් නිත්‍ය රියදුරෙකි. සයිමන් සිල්වා ඇතුඵ තවත් සේවකයන් කිහිප දෙනෙක් පොලු ද රැගෙන ආරක්ෂාවට එයට ගොඩවන අතර ප්‍රධාන මුදල් අයකැමිවරයා සහ තවත් අයකැමිවරුන් දෙදෙනෙක් මුදල් පෙට්ටි සහිත මෝටර් රථයට ගොඩවෙති. ඉදිරි අසුනේ රියැදුරා හා පොලිස් නිලධාරියාය. මෝටර් රථය ඉදිරියෙන් ගමන් ගන්නා අතර වෑන් රථය එයට ආරක්ෂාව සපයමින් පසුපසින් ගමන් කිරීම සතිපතා අනුගමන කෙරුනු ක්‍රියා මාර්ගය විය.

එම්. ඒ. ‍දොන් ජේම්ස් සෙනෙවිරත්න පදිංචිව සිටියේ වැල්ලම්පිටියේය. ඔහුගේ ව්‍යාපාරය වූයේ මිනීපෙට්ටි වෙළඳාමය. ඔහුගේ මස්සිනා වූ ලෑතර බාස් මිනීමැරුම් චෝදනාව යටතේ සිරගෙදර සිටි අතර ඔහුට එරෙහි චෝදනාව ඔප්පු වන ලකුණු පෙනෙන්නට තිබිණි. එහෙයින් ඔහු බේරා ගැනීම සඳහා දක්ෂ නීතීඥයකු සොයා ගැනීමට ඔහුට මුදල් අවශ්‍ය වී තිබිණි.ඔහුද තුරග තරග සඳහා ඔට්ටු අල්ලන්නකු විය. තම මස්සිනා ගලවා ගැනීම සඳහා මුදල් සොයමින් සිටි ඔහුට තුරග තරග සමාජයට සතියකට එකතුවන මුදල් සම්භාරය දැකගත හැකි විය. එයින් මුදල් ටික්ක සොරා ගත හැකිනම් තම ගැටලුව විස`දෙන බැව් ඔහුට හැඟී ගියේය.

ජේ. පී රාජපක්ෂ නොහොත් ටිප් ටොප් වෙද මහත්තයා ජිවත් වූයේද වැල්ලම්පිටියේය. යුද්ධය නිසා හිමිකරුවන් අතැර ගිය කාමර පේලි හතරක් සහිත ගොඩනැගිල්ලක මැද කාමරයක හුදෙකලාාව ජීවත් වූ ඔහුට මුදලින් අගහිඟයක් තිබුණේ නැත. ඔහුද ඉඳහිට තුරඟ තරග සමාජයේ ඔට්ටු අල්ලන්නට පුරුදුව සිටි අයෙකි. දිනක් තුරග තරග පිටියේදී රාජපක්ෂට සෙනෙවිරත්න හමුවිය. ඔහුගේ මස්සිනා පිළිබඳ කෙරුණු කතාබහකදී තමාට රුපියල් 300ක් තිබේනම් ප්‍රශ්නය පහසුවෙන් විසඳාගත හැකියැයි සෙනෙවිරත්න රාජපක්ෂට පැවසීය. ඒ කෙසේදැයි රාජපක්ෂ ඇසූ විට තම අරමුණ පැහැදිලි කළ සෙනෙවිරත්න තමාට මිනිසුන් පස් දෙනකු අවශ්‍ය යැයිද කීවේය. රාජපක්ෂට එයට එක් වන මෙන් ඉල්ලා සිටි අතර එයට කැමැත්ත පලකල රාජපක්ෂ ඔහුට රුපියල් 300 දීමටද එකඟ විය.පුංචිසිංඤෝ වීරසිංහ කොළඹ බ්‍රවුන් සමාගමේ කාර්මිකයෙකි. ඔහුද කොලෙන්නාවේ වැසියෙකි. රාජපක්ෂ තම අරමුණ ඔහුට පවසා තමන් සමඟ එක්වන ලෙස ඉල්ලා සිටියද වීරසිංහ එයට අකමැති විය. එසේනම් තමාට රිවොල්වරයක් සොයා දෙන්නැයි ඔහු වීරසිංහගෙන් ඉල්ලා සිටියද වීරසිංහ එයටද අකමැති විය. මේ අතර සෙනෙවිරත්න තමාට අවශ්‍ය පිරිස සොයාගන්නට සමත් විය. කොළඹ රේස් ඔට්ටුපලක සේවය කළ රූපානන්ද සිල්වා, දෙවනි ලෝක යුද සමයේ හමුදා රියැදුරකු වූ විජයදාස පෙරේරා, හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ වර්ලිස් මුණසිංහ එම කණ්ඩායමට එක්වූ පිරිස විය.

READ:   දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

මුදල් කොල්ලය සඳහා සූක්ෂ්ම වැඩපිළිවෙලක් සකස් කළ යුතු විය. ආම්ස්ට්‍රෝං ගරාජයේ සිට පැමිණෙන මෝටර් රථය වෙනුවට වෙනත් රථයක් සපයා ගත යුතු විය සී. ඊ. 757 අංකය දරන මෝටර් රථයේ හිමිකරු වූයේ ඇම්. කේ. විල්සන් නමැත්තෙකි. 1949 ජනවාරි 29 දින එක්තරා පුද්ගලයෙක් ඔහු කරා පැමිණ කොළඹ සිට පුත්තලම් පාරේ සැතපුම් 100 පමණ දුරක් ගමන් කිරීම සඳහා කොපමණ මුදලක් අවශ්‍යදැයි ඇසීය. විල්සන් ඒ සඳහා රුපියල් 100ක් ඉල්ලා සිටියේය. ගමන යා යුත්තේ ජනවාරි 30 වැනිදා යැයි පැවසු අමුත්තා ඒ සඳහා රුපියල් 50ක අත්තිකාරමක්ද ගෙවීය.

ජනවාරි 30 වැනිදින වතු අධිකාරිවරයකුට සමාන පුද්ගලයෙක් අම්ස්ට්‍රෝං ගරාජය වෙත පැමිණ මගීන් 7 දෙනකු සමඟ පුත්තලමට යෑම සඳහා මෝටර් රථයක් ඉල්ලා සිටියේය. වාහන කුලිය ලෙස රුපියල් 186ක් අයකැමිවරයාට ගෙවූ ඔහුට ලැබුණේ ජෝන් සිල්වා රියදුරු ලෙස කටයුතු කළ ඉසෙඞ් 6033 මෝටර් රථයයි. පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 16ක් ගමන් කළ හැකි එම රථයට පෙට්‍රල් ගැසීමට හා රියදුරු බටා ලෙස අයකැමිවරයා ජෝන් සිල්වාට රුපියල් 40ක් ලබා දුන්නේය. එම රථය වෙන් කරගෙන තිබුණේ රූපානන්දය. එදින සවස 2.30 එම රථයෙන් පුත්තලම බලා යෑමට රූපානන්දත් මුණසිංහත් පිටත් විය. වික්ටෝරියා පාලම අසලදී විජේදාසද රථයට ගොඩ විය.

මේ අතර විල්සන්ගේ රථයට අත්තිකාරම් ගෙවූ පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ පුත්තලම බලා යෑමට විල්සන්ගේ නිවෙසට පැමිණියේය.විල්සන්ගේ වාහනය පුත්තලමට ලඟාවූයේ සවස 5.30ට පමණය. තවත් සැතපුම් 12ක්‌ පමණ ගමන් කළ ඔවුහු එම මාර්ගයේ 13/4 දරන බෝක්කුව අසලින් බැස තමන් වෙනත් හිතවතකුගේ මෝටර් රථයෙන් පැමිණෙන හෙයින් තමන් එනතුරු පුත්තලමේ සිටින ලෙසට පවසා විල්සන්ගේ රථය පිටත් කර හැරියේය. එම රථයෙන් පැමිණි දෙදෙනා සෙනෙවිරත්න සහ රාජපක්ෂය.

ජෝන් සිල්වා පැදවූ වාහනය සවස 5ට පමණ පුත්තලමේ වික්ටරි හෝටලය ඉදිරිපිට නවතන ලදි. රූපානන්දත් මුණසිංහත් ජෝන් සිල්වාද සමඟ හෝටලය වෙත ගියහ. අරක්කු ටිකක් බොමුදැයි ජෝන් සිල්වාගෙන් ඇසූ ඔවුහු අරක්කු ගෙනෙන ලෙස වේටර්වරයකුට අණ කළහ. ජෝන් සිල්වාට අරක්කු වීදුරු දෙක තුනක් පෙවූ නමුදු රූපානන්ද මත්පැන් බීවේ නැත. ආහාර ගැනීමෙන් පසු ඔවුහු අනුරාධපුරය දෙසට ගමන් ඇරඹූහ.


Hara Lakshaya

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි 13/4 බෝක්කුව අසලට ඔවුහු පැමිණියහ. ඒ වන විට රාජපක්ෂත් සෙනෙවිරත්නත් එහි පැමිණ සිටියහ. අඳුර ක්‍රමයෙන් වැඩිවෙමින් තිබූ අතර රථයෙන් බැසගත් මුණසිංහ හා රූපානන්ද මදක් මත් ගතියෙන් සිටි ජෝන් සිල්වාද රථයෙන් බස්සවා ගත්හ. අන්දමන්ද වූ ජෝන් සිල්වා ඇයිදැයි විමසූ විට එහි පැමිණි රාජපක්ෂත් සෙනෙවිරත්නත් ඔහුට පහර දී ඔහුගේ දෑත බැඳ මීටර් 200 පමණ වනාන්තරය තුළට ඇදගෙන යන්නට වූහ. මරණ බයෙන් තැතිගත් ජෝන් සිල්වා කෑසන්නට විය. එහෙත් ඒ පාලු ප්‍රදේශයේ ඔහුගේ කෑ ගැසීම අසන්නට සිටියේ කැලයේ සිටි වන අලි රංචු පමණි. සෙනෙවිරත්න ඇතුඵ පිරිස ජෝන් සිල්වා විශාල පලු ගසකට තබා බැඳ දැමූහ. රාජපක්ෂ අත ගෑස් වෙස් මුහුණක් විය. ඔහු එය ජෝන් සිල්වාගේ මුහුණට දමා හුස්ම ගැනීමට ඇති නලය සිරකරනු රූපානන්ද දුටුවේය. මහත් අසීරුවෙන් ටික වේලාවක් දැඟලූ ජෝන් සිල්වාගේ හිස පහතට කඩාවැටෙනු පෙනිනි. හුස්ම ගැනීමට නොහැකි වීමෙන් ඔහු මරණයට පත්ව තිබිණි.

පිරිස ජෝන් සිල්වා පදවා ගෙන පැමිණි රථයෙන් කොළඹ බලා පිටත් වූහ.පසුදින උදෑසන 8 වන විට ඔවුහු කොළඹට ලඟා වූහ. මරදානේ බුහාරි හෝටලයට ගිය රූපානන්ද ආම්ස්ට්‍රෝං ගරාජයට දුරකතන ඇමතුමක් දී තමා ටර්ෆ් කල්බ්එකේ අයකැමිවරයකු බවත් මුදල් ගෙනයාම සඳහා එදින වාහනය අවශ්‍ය වන්නේ උදෑසන 8ට නොව 10ට පමණ යැයි පැවසීය. පුත්තලමට ගිය වාහනය එතෙක් නොපැමිණ තිබූ හෙයින් ආම්ස්ට්‍රෝං ගරාජයේ කලමනාකරුවූ ජලල්දීන් සී. එල් 1128 වාහනය එහි යැවීමට සූදානම් කර තිබිණි. එහි රියදුරු වූයේ ජයවර්ධන නමැත්තෙකි.රූපානන්දගේ දුරකතන ඇමතුම ගත්තේ ඔහුය. ඒ අනුව උදෑසන 8 නොව 10ට එහි යෑමට ඔහු සූදානම් වියඑදින තුරග තරග සමාජයේ මුදල් ට්‍රන්ක පෙට්ටි දෙකකට පැටවිණි. එකක රුපියල් 3,22,000ක්ද තවත් පෙට්ටියක රුපියල් 75,699,50ක මුදලක්ද වූ අතර තවත් රුපියල් 53,634ක චෙක්පත් අයකැමිවරයා අත විය.

READ:   අර්බුදය දින කිහිපයකින් විසදීමට සූදානම්

හරියටම උදෑසන 8.30 වන විට ආම්ස්ට්‍රෝං ගරාජයේ ඉසෙඞ් 6033 මෝටර් රථය තුරග තරග පිටියට ඇතුඵ විය.තුරග තරග සමාජයේ ප්‍රධාන අයකැමිවරයා වූයේ එස්. ආර්. පීරිස් මහතාය. ඔහු වසර 24ක් එහි සේවය කළ අවංක නිලධාරියකු විය. වාහනයට මුදල් පෙට්ටි පැටවූ අතර එලෙස මුදල් පැටවූ එක් සේවකයකු වූ ඩිංගිරි බණ්ඩා සුපුරුදු රියදුරා වූ ජෝන් සිල්වා නොමැති බැව් දැක ජෝන් අයියා කොහේදැයි ඇසීය. ඔහු අසනීපයෙන් පසුවන හෙයින් තමා පැමිණියේයැයි අලුත් රියදුරා ඔහුට කීය. අලුත් රියදුරා වූයේ විජේදාසය. පොලිස් වෙස් ගෙන සිටි මුණසිංහ ඉදිරි අසුනේ සිටියේය.මුදල් පෙට්ටි රථයට පැටවීමෙන් පසු ප්‍රධාන අයකැමිවරයා වූ පීරිස් මහතාද සහකාර අයකැමිවරුන් වූ ඇල්බට් සිල්වා හා ඩී. බී. පෙරේරාද වාහනයට ගොඩ වූහ. රථය රාජකීය විදුහල දෙසින් දකුණට හරවා ගමන් කරන්නට විය ආරක්ෂාවට ගමන් ගන්නා වෑන් රථය කාර්මික දෝෂයක් ඇති වූ බැවින් පණ ගැන්වීමට මදක් ප්‍රමාද විය. එහෙයින් ඔවුනට මෝටර් රථය මගහැරිනි. ඔවුහු කෙලින්ම බැංකුව වෙත ගියහ. එහෙත් ඒ වන විටත් මෝටර් රථය බැංකුව වෙත පැමිණ තිබුණේ නැත.මෝටර් රථය ඇල්ෆ්‍රඞ් චන්ද්‍රවංකය අසලට ළඟාවූවා පමණි. (කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගය) පොලිස් නිලධාරියා ලෙස පෙනී සිටි මුණසිංහ එක්වරම අයකැමිවරුන් වෙක පිස්තෝලය එල්ල කර ‘පණට ආදරේ තියෙනවනං බැහැපියව් යනුවෙන් අණ කළේය. මේ අතර වාහනයේ වේගය අඩු වූ අතර කොහේදෝ සිට දිව ආ පුද්ගලයන් දෙනෙක් වාහනයේ එල්ලෙනු අයකැමිවරයා දුටුවේය. එක් පුද්ගලයකු අත රිවොල්වරයක් විය. අයකැමිවරයා රථයෙන් නොබැස මුදල් පෙට්ටිමත හිඳගෙන එය තරයේ අල්ලා ගත්තේය. පොලිස් නිලධාරියා වූ මුණසිංහ ඔහුගේ මුහුණට වෙඩි තැබීය. ශ්‍රවස්ති මන්දිරය ඉදිරිපටදී ඔහු එලියට ඇද දමනු ලැබීය. රථයේ එල්ලුණු දෙදෙනා සෙනෙවිරත්න හා රාජපක්ෂ වූහ.එදින සවස් වන විට ඉසෙඞ් 6033 මෝටර් රථය බොරැල්ල නොරිස් පටුමගේ දමාගොස් තිබියදී පොලිසියට හමු විය. මංකොල්ලයට රූපානන්ද හවුල් නොවීය. එදා දුරකතන ඇමතුම ලබා දීමෙන් පසු ඔහුගේ සේවය අවසන් විය. මංකොල්ලයෙන් පසු එදින සවස රූපානන්ද හමුවට පැමිණි රාජපක්ෂ ජෝන් සිල්වා බැඳ දැමූ ස්ථානය පිළිබඳව සඳහන් කොට පුත්තලම පොලිසියට තැපැල්පතක් යැවිය යුතුයැයි කීවේය. ඒ අනුව මරදාන පොලිසියට එක් තැපැල්පතක්ද පුත්තලම පොලිසියට තවත් තැපැල්පතක්ද යැවිණි.පසුදින පුවත්පත්වල මෙම මංකොල්ලය පිළිබඳව වාර්තා විය. රාපක්ෂ විසින් පිස්තෝලයක් සපයා දෙන ලෙස ඉල්ලා සිටි පුංචිසිංඤෝ වීරසිංහට මංකොල්ලය පිළිබඳව දැනගන්නට ලැබිණි සෙනෙවිරත්න හමු වූ ඔහු කොල්ල කෑ මුදලින් තමාටද කොටසක් අවශය යැයි කීවේය. සෙනෙවිරත්නගේ පිළිතුර වූයේ තුන්මසක් ගතවන තෙක් මුදල් බෙදා නොගන්නා බවයි.මේ අතර පොලිසිය අතුරුදන් වූ ජෝන් සිල්වා පිළිබඳ විමර්ශණ අරඹා තිබිණි. පුත්තලම පොලිසියේ ස්ථානාධිපතිවරයා වූයේ බී. එල්. එන් ෆර්ඩිනැන්ඩෝ මහතාය. පෙබරවාරි 1 දින ඔහුට තැපැල්පත්ක් ලැබිණි. එහි සඳහන් වූයේ කිසියම් පුද්ගලයකු පලුගසක බැඳ දමා ඇති බවටය. එය රූපානන්ද විසින් එවූ තැපැල්පත විය. ඔහු එම ස්ථානය සොයා ගියේය. පැය ගණනක වෙහෙසකර ව්‍යායාමයකින් පසු ඝන කැළෑවේ පලුගසක ගැටගසා සිටි මිනිසකු සොයාගැනීමට පොලිස් කන්ඩායමට හැකි විය. දැඩි උෂ්ණ ප්‍රදේශයක් වූ හෙයින් ඒ වන විටත් මළ සිරුර ඉදිමී දැඩි දුර්ඝන්ධයක් හමමින් තිබිණි. එම මළ සිරුර තම සොහොයුරා වූ ජෝන් සිල්වාගේ බවට ඔහුගේ සොහොයුරු ඒබ්‍රහම් සිල්වාත් මස්සිනා වූ බී. ඇස්. පෙරේරාත් හඳුනා ගත්හ.

ටර්ෆ්කල්බ් මංකොල්ලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නකුට විශාල මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට පොලිසිය ප්‍රකාශ කළේය.තුන් මසකින් මුදල් ලබා දෙන බවට සෙනෙවිරත්න කළ ප්‍රකාශය වීරසිංහගේ සිත් ගත්තේ නැත. ඔහුට කඩිනමින් මුදල් අවශ්‍ය වූ අතර සෙනෙවිරත්නගෙන් මුදල් ලබා ගැනීම අසීරු බැව් ඔහුට වැටහිනි. එහෙයින් පොලිසියට ඔත්තුව දී එම ත්‍යාග මුදල ලබා ගැනීමට ඔහු තීරණය කළේය. වීරසිංහගේ ඔත්තුව මත ප්‍රථමයෙන් විජේදාස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මෙම විමර්ශනය මෙහෙය වූයේ කොළඹ නියොජ්‍ය පොලිස් අධිකාරිවරයා වූ ලයනල් ගුණතිලකය. විජේදාසගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදි කොල්ලය පිළිබඳ සියලු තොරතුරු ඔහු පොලිසියට අනාවරණ කළේය. ඉන්පසු රූපානන්ද අත්අඩංගුවට ගැනිණි. ඔහු මිනිමැරුමට හෝ මංකොල්ලයට සම්බන්ධ නොවූ බැව් ප්‍රකාශ කළ අතර පසුව රජයේ සාක්ෂිකරුවකු විය. දින කිහිපයකට පසු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ අනුව විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නඩු පැවරිනි.

READ:   ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට

1. හත්වැල්ලගේ ගිල්බට් ඩයස් 2. මලිගස්පෙකෝරළගේ විල්සන් 3. සුබවීරගේ ලුවිස් ඩයස් නොහොත් මදාවියා 4. නානායක්කාර අතලුගමගේ සයිමන් ද සිල්වා ජයසිංහ නොහොත් ආරච්චිරාල 5. මාකවිටගේ විජේදාස පෙරේරා 6. මුණසිංහ ආරච්චි ලේකම්ලාගේ වර්ලිස් මුණසිංහ නොහොත් මුණසිංහ අරච්චි ලේකම්ගේ වජිර මුණසිංහ 7. මනිකුමාර ආරච්චිගේ දොන් ජේම්ස් සෙනෙවිරත්න 8. රාජපක්ෂ ලියනගේ ජයනන්ද ප්‍රේමලාල් නොහොත් ජේ.පී. රාජපක්ෂ නොහොත් වෙද මහත්තයා එම චූදිතයෝ වූහ.

පළමුවැනි විත්තිකාර ගිල්බඩ් ඩයස්, තුන්වැනි විත්තිකාර ලුවිස් හා සිව්වැනි විත්තිකාර සයිමන් ද සිල්වාට එරෙහිව කිසිදු චෝදනාවක් නොවුයෙන් නඩු විභාගය අතර ඔවුන් නිදහස් කෙරිණි. සොරකමට වරද පිළිගත් ඇම්. කේ විල්සන්හට බරපතල වැඩ සහිත දස වසරක සිර දඩුවමක් නියම විය. විජයදාස පෙරේරා,වර්ලිස් මුණසිංහ, ජෙමිස් සෙනෙවිරත්න, සහ ජේ. පී රාජපක්ෂ යන සිව් දෙනාට මරණ දඬුවම නියම විය.1950 මාර්තු 31 දින විජේදාසද, අප්‍රේල් 1 දින මුණසිංහද, අප්‍රේල් 4 දින සෙනෙවිරත්නද අප්‍රේල්5 දින රාජපක්ෂද පෝරකයට නංවන ලදි. රූපානන්ද රජයේ සාක්ෂිකරුවකු වීම නිසා සියලු චෝදනාවලින් ඔහු නිදහස් විය. අනෙකුත් විත්තිකරුවන්ගේ ඥාතීන්ගෙන් ඔහුට අනතුරක් විය හැකි බැවින් එවක සිටි පොලිස් අධිකාරිවරයකු වූ අශ්විනි කුමාර් රොක්වුඩ් මහතා ඔහුට රැකියාවක් සොයා දී වෙනත් නමකින් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි කළේය. නව දිවියක් ආරම්භ කළ රූපානන්ද පිළිබද ව ඉන්පසු අසන්නට ලැබුණේ නැත. ඔහුගේ පවුලට සෑම මසකම රැපියල් 50ක ආධාර මුදලක් රජයෙන් ලැබිණි.කොල්ලකරුවන් විසින් මරා දැමූ ජෝන් සිල්වා යහපත් පුද්ගලයකු විය. ඔහුට සිටියේ එකම පුතෙකි. ඔහු නමින් කේ.පී. සිල්වාය. තම පියාගේ මරණයෙන් දැඩි කම්පාවට පත් ඔහු පිටකෝට්ටේ දේවානන්ද හිමි නමින් පුහුල්වැල්ලේ ආරණ්‍යයේ කඩවැද්දුවේ ජිනවංශ හිමියන් යටතේ පැවිදි විය. අතුරුගිරියේ ඥානවිමලාරාමයේත් වැඩවිසූ උන්වහන්සේ දායකයන්ගේ ආරාධනාවෙන් බෞද්ධාලෝක මාවතේ ජර්මන් බෞද්ධ ධර්මදූත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් වැඩ සිටි අතර පසු කාලයේ අපවත් වූහ.දේවානන්ද හිමි ගිහි සමයේ ජීවත් වූයේ නුගේගොඩ තිලක උයනේ මහාචාර්ය සුනිල් ආරියරත්නන හා තිලකරත්න කුරුවිට බණ්ඩාර යන දෙබෑයන්ගේ පියා වූ තෝමස් සිල්වා මහතාට අයත් නිවෙසකය.

පසු සටහනඅනුරාධපුර පුත්තලම් පාරේ කරුවලගස්වැව ප්දේ‍රශයේ 12 කනුව අසල ජොන් සිල්වාගේ ඥාතීන් විසින් 1976දී පමණ තනවන ලද සිහිවටනය තවම දැකිය හැකිය. එම සිහිවටනය අසලින් මීටර 200ක් පමණ වනය තුළට ගමන් කරන විට. ඔහු මරාදැමූ ස්ථානය හමු වේ. 1950 දසකයේ එම ස්ථානයේ තනවන ලද සිහිවටනයක සුන්බුන් පමණක් ඉතිරිව තිබෙනු දැකිය හැකිය. ඔහු මරා දැමුණු දැවුන්ත පලු ගස මේ වන විට දිරා ගොසින් ඇති අතර ඉන් ශේෂ වූ විශාල අතු කැබැල්ලක් පමණක් එහි දැකිය හැකිය. අද වන විටද පාලු හුදෙකලා බවක් දැකිය හැකි එම ප්‍රදේශ මෙයින් දසක 7කට පමණ ඉහත කොතරම් ඝන කැලෑවක් වන්නට ඇතැදියි සිතාගත හැකිය. මෙම ලිපිය සමග පල වනුයේ අප එම ස්ථානයට ගොස් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාමෙම ලිපි පෙල කොටස් අටකින් යුතු දීර්ඝ ලිපියක් ලෙස 2014 මාර්තු මාසයේ එවක මා සේවය කල ඉරිදා ලංකාදීපයට ලිවුවෙමි. මෙම සටහන එහි සංක්ෂිප්තයකි අප මෙවැනි පැරණි තොරතුරු සොයා ගන්නේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ lake house පුස්තකාලයේ ඇතී පැරණි පුවත් පත් වල පලවූ ඒ කාලයේ නඩු වාර්තා හා ප්‍රවුර්ති සහ එම පුද්ගලයන් දන්නා හෝ එම සිදුවීම් ඇසින් දුටු අයගේ සාක්ෂි ඇසුරිනි ඒ සඳහා බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැය කරමි. මෙම පොස්ටුව කලකට ඉහත මගේ රසෝඝය පිටුවේ පළ කළෙමි.

උපුටා ගැනීම Priyanjen Suresh De Silva

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්