Friday, April 24, 2026
Homeදේශීයහිස්බුල්ලා ගේ හිරා පදනම ගැන කොමිසමේ දී කරුණු හෙළි වේ.

හිස්බුල්ලා ගේ හිරා පදනම ගැන කොමිසමේ දී කරුණු හෙළි වේ.

ලියාපදිංචි කරත් නැහැ

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාට අයත් “හිරා පදනම“ මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස නෛතිකව නිසි පරිදි ලියාපදිංචි කර නොමැති බව ජනාධිපති කොමිසමේදි අද (13) අනාවරණය වුණි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ පිළිබඳ අනාවරණය කළ අතර එම අනාවරණය සිදුකරන අවස්ථාවේ එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතා ද ජනාධිපති කොමිසම් සභා පරිශ්‍රයේ රැඳීසිටිම විශේෂත්වයකි.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කටයුතු පසුගිය 27 වනදා තාවකාලිකව අත්හිටවූ අතර අද (13) යළි කොමිසමේ කටයුතු ආරම්භ කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂක නිර්දේශයන්ට අනුකූලවය.

ඒ අනුව, මෙපමණ කල් කොමිසම් සභා පරිශ්‍රය තුළ වාර්තාකරණයේ නිරතවූ මාධ්‍යවේදින්ට අද දින කොමිසම් සභා පරිශ්‍රයෙන් පිටත රැඳී සිටිමින් වාර්තාකරණයේ නියලීමට කටයුතු සලසා තිබුණි.

නැගෙනහිර පළාත් හිටපු අණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාට අයත් සමාජ සේවා සවිධානයක් ලෙස හැදින්වෙන ප්‍රශ්නගත “හිරා පදනම“ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම අද දින සාක්ෂි විමසනු ලැබු අතර එයට සවන්දීම සඳහා නැගෙනහිර පළාත් හිටපු අණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාද අද දිනයේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබුණි.

එහිදි කොමිසම හමුවේ පළමුව සාක්ෂි ලබාදෙමින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරි දම්මික වාසලබණ්ඩාර මහතා කියා සිටියේ “හිරා පදනම“ 1993.09.09 දින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ ඇති ගොනුවක සඳහන්ව ඇති බවය.

කෙසේ වෙතත් අදාළ කාලසීමාව තුළ ලියාපදිංචි කර ඇති තවත් සමාජ සේවා සංවිධාන කිහිපයක ලියාපදිංචි අංක සහ “හිරා පදනම“ ලියාපදිංචි කර ඇති අංකය අතර අසාමාන්‍ය වෙනසක් තමාට දකින්නට ඇති බවද සමාජ සේවා නිලධාරියා සඳහන් කළේය.

එසේම ලියාපදිංචි වූ බවට “හිරා පදනම“ සතුව ඇති සහතිකයේ එය පිහිටි ස්ථානය ලෙස යොදා ඇති ලිපිනයත්, සමාජ සේවා දේපාර්තමේන්තුවේ “හිරා පදනම“ පිහිටි ස්ථානය ලෙස දක්වා ඇති ලිපිනයත්, එකිනෙකට වෙනස් බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

READ:   අයි.එම්.එෆ් ශ්‍රි ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවට ප්‍රකාශයක්

මෙහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ “හිරා පදනම“ සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට එම සංවිධානය යොමුකළ අයැඳුම්පතක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව පවතින්නේද යන්නය.

එයට පිළිතුරුදෙමින් සමාජ සේවා නිලධාරියා සඳහන් කළේ, එවැනි ලේඛනයක් තම දෙපාර්තමේන්තුව සතුව නොමැති අතර “හිරා පදනම“ ලියාපදිංචි වුවායැයි සඳහන් වෙනත් කිසිදු ගොනුවක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවය.

කෙසේ වෙතත් 2011 වර්ෂය වන විට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ බලය සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහලේකම් කාර්යාලයට ලබාදුන් අවස්ථාවේ පෙර ලියාපදිංචි කර තිබු සියලු රාජ්‍ය නොවන සංවිධාන යළි එම කාර්යාලය යටතේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගුණු බව නිලධාරියා පැහැදිලි කළේය.

එසේ පැවතියද “හිරා සංවිධානය“ පෙර ලියාපදිංචිය සහතික කරගැනීම සඳහා 2011.07.21 දින සමාජ සේවා දෙපාර්තමේන්තුවට යළි ඉල්ලීමක් කර ඇති බවත් තම දෙපාර්තමේන්තුවට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳ බලයක් නොතිබු එම අවස්ථාවේ එච්. එම්. එම් සමීර් නම් අතිරේක අධ්‍යක්ෂවරයෙකු විසින් පෙර ලියාපදිංචිය සහතික කිරීමේ සහතිකයක් නිකුත් කර තිබු බව සමාජ සේවා නිලධාරියා පැහදිලි කළේය.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවුයේ එච්. එම්. එම් සමීර් නම් එකි අතිරේක අධ්‍යක්ෂවරයාවය.

එහිදි ජනාධිපති කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා සිටියේ අදාළ අවස්ථාවේ තමන් පෙර ලියාපදිංචිය පිළිබඳ විධිමත් සොයාබැලීමක් සිදුනොකර ලියාපදිංචිය සහතික කිරීමේ පිටපතක් නිකුත් කිරීම කළ නොකළ යුතුව පැවති බවය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ එම සහතිකය නිකුත් කරන අවස්ථාව වන විට ඔබ එකි සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාව දැන සිටියේද යන්නය.

එයට පිළිතුරුදෙමින් සාක්ෂිකරු කියා සිටියේ එකි සහතිකය නිකුත් කරන අවස්ථාව වන විට තමන් හිස්බුල්ලා අමාත්‍යවරයාව නොදැන සිටි අතර පසුව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වු පසු මුස්ලිම් දේශපාලනඥයින් සමග සබඳතා පැවැත්වු බවය.

READ:   අරගලයට මුවාවී කලහකාරි ලෙස හැසිරීම වැරදි - ජනපති කියයි

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි විමසා සිටියේ කුමන කටයුතුවලදී ඔබ එම මුස්ලිම් දේශපාලනඥයින් සමග සම්බන්ධ වුනේද යන්නය.

මුස්ලිම් පල්ලි ලියාපදිංචිකර ගැනීම සඳහා සියලුම මුස්ලිම් දේශපාලනඥයින් ඉල්ලීම් සිදුකළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

එහිදි සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ මුස්ලිම් පල්ලි ලියාපදිංචි කර ගැනීමට බලපෑම් කිරීමට මුස්ලිම් අමාත්‍යවරුන්ට මැදිහත්වීමක් කළ නොහැකි නෛතික රාමුවක් තුළ ඔවුන් එවැනි කටයුත්තක් සිදු කරන්නේ කෙසේද යන්නය.

එයට පිළිතුරුදෙමින් සාක්ෂිකරු කියා සිටියේ එවැනිම කිසිදු නෛතික බලයක් නොමැති වුවද සෑම මුස්ලීම් දේශපාලනඥයෙක්ම පාහේ මුස්ලීම් පල්ලි ලියාපදිංචි කර ගැනීම සදහා මැදිහත්වීම් සිදුකළ බවය.

අද දෙරණ වෙබ්අඩවිය

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්