විදේශීය

ධවල මන්දිරයට ගිය ජෝ බයිඩ්න්ගේ කඳුළු කතාව

ජෝ බයිඩ්න් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස එරට රූපවාහිනියෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එරට වේලාවෙන් සෙනසුරාදා පෙරවරු 11.30ටය. ඒ වන විටත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පාර්ශ්වය ධවල මන්දිරයෙන් පිටව ගොස් අවසන්ය.

පෙන්සිල්වේනියාවේ ජන්ද අපේක්ෂකයන් දෙදෙනාටම තීරණාත්මක බව කීවද, පුරා දෙදිනක් පැවති අවිනිශ්චිතතාව නිමාවට පත් වූයේ ඊට පෙර ෆිලඩෙල්පියාවේ ජන්ද ගණනයෙන් බයිඩ්න් ගව් ගණනක් ඉදිරියට ඔසවා තැබීමෙනි. ඒ අනුව බයිඩ්න්ගේ ජන්ද ගොඩවල් ගණන 273 දක්වා ඉහළ ගියේ අවශ්‍ය ප්‍රමාණය වූ 270ත් පසු කරමිනි. මොහොතකට පසු නෙවාඩා ජන්ද ප්‍රතිඵල තුළින් එය 279 දක්වා වැඩි විය.

බයිඩ්න්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ ප්‍රධාන නගර රැසක වීදි ඔහුගේ පාක්ෂිකයන්ගෙන් පිරී ඉතිරී ගියේය. ටයිම්ස් චතුරස්‍රය අවට නම් එකම හිස් ගොඩකි. නිව්යෝක් නුවර මාර්ග සියල්ලෙහිම පාහේ අධික රථ වාහන තදබදයක් ඇති වූයේ නව ජනාධිපතිවරයා පත් වීමේ සතුට සැමරීමට එක්රොක් වූ වාහනවල අමෙරිකානු ධජය ඔසවා ගත් බයිඩ්න් පාක්ෂිකයන් ප්‍රීති ඝෝෂා නඟමින් වාහනවල නලා නාද කරමින් එහා මෙහා ගමන් කරන්නට වීමෙනි.

ජනතාව සතුටු කඳුළු වගුරමින් ප්‍රීතිය සමරන්නට වූ අතර, පෙම්වතුන් එකිනෙකා සිප වැලඳගෙන සිත් සේ සතුටු වූයේ කොවිඩ් සෞඛ්‍ය නීති තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.

‘පසුගිය දිනයේ රාත්‍රියේ මහජනතාව පත්ව සිටි අසීරු තත්ත්වය මා හොඳින්ම අවබෝධ කර ගත්තා. මීට පෙර මම දෙවතාවක් ජීවිතයෙන් පරාද වුණා. එහෙත් මෙවර අමෙරිකානු ජනතාවගේ වේදනාව පහ කිරීමට මට අවස්ථාව ලැබුණා. එය ඔබේ ජයග්‍රහණයක්.‘ බයිඩ්න් ද දැඩි සතුටට පත්ව සිටියේය.

ඔහුගේ උප ජනාධිපතිවරිය වන්නේ ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස්ය. ඇය එම තනතුරට පත් වූ පළමු කාන්තාව වන අතර, එවැනි ගෞරවයක් ලැබූ පළමු කළු ජාතික කාන්තාවද වන්නීය.

ජෝ බයිඩ්න් ඉතිහාසයට එක්වන්නේ අමෙරිකාවේ ජනපති පදවියට පත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසිනි. එමෙන්ම පාලන බලය හිමි කර ගෙන සිටි ජනපතිවරයකු පරදවා බලයට පත් වූ පළමු අවස්ථාව ද එය වේ.

ජෝ බයිඩ්න්ගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සිදු වන්නේ කඳුළු කතාවක් මැදිනි.

එය ඔහුගේ ජීවිතයෙන් අඩකට වඩා කාලයක් වේදනාවෙන් පුරවා දැමූ එකක් බව දන්නේ අතළොස්සක් පමණි.

70 දශකයේ මුල් භාගයේදී පළමුවරට සෙනෙට් සභිකයකු ලෙස දේශපාලනයට පිවිසි බයිඩ්න් එවකට විවාහ වී සිටියේ පාසල් ගුරුවරියක වූ නීලියා හන්ටර් සමඟය. සැබැවින්ම ඇය ඔහුගේ දේශපාලන ජීවිතයට අඩිතාලම දැමු කාන්තාව වූවාය. එහෙත් ඔහුගේ ජීවිතය අඳුරට තල්ලු කරමින් ඇය 1973 දෙසැම්බර් 18 වැනිදා මෙලොවින් සමුගත්තේ ඔහු සෙනෙට් සභිකයකු ලෙස දිවුරුම් දීමට දින කිහිපයකට පෙරය.

එවකට දරුවන් තිදෙනකුගේ මවක වූ නීලියා සිය දරුවන් තිදෙනා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ ට්‍රක් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරින් ජීවිතය හැර ගියේ ඔවුන්ගේ අවුරුද්දක් වයසැති දියණිය ඇමී තුරුලු කරගෙනය. බරපතළ තුවාල ලැබූ පුතුන් දෙදෙනා ජෝශප් සහ රොබර්ට් දිගු කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූහ. ඔවුන්ගේ මෝටර් රථය ගැටුණු ට්‍රක් රථයේ රියැදුරු බීමත්ව සිටි බැවින් එම අනතුර වළක්වා ගැනීමට නොහැකි වූ බව පසුව වාර්තා වූවත් සැබැවින්ම ඒ පිළිබඳ මතභේදාත්මක කරුණු ගණනාවක් තිබේ. ඇතැම් වාර්තාවලින් කියැවුණේ රිය අනතුර සිදුවන මොහොතේ නීලියා බීමත්ව සිටි බවකි.

කෙසේ වූවත් මෙය ඔහුගේ ජීවිතයේ වේදනාත්මක සිදුවීමකි.

පුතුන් දෙදෙනාගේ රෝගි තත්ත්වය හේතුවෙන් ඔවුන් රැක බලා ගැනීමට වැඩි ඉඩකඩක් අවශ්‍ය බැවින් දේශපාලනයෙන් සමුගැනීමට ද ඔහු වතාවක් තීරණය කළේය. එහෙත් එය වැළකී ගියේ එවකට ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයන් ඊට විරුද්ධත්වය පළ කිරීම නිසාය.

අවසානයේ ඔහු සෙනෙට් සභිකයකු ලෙස දිවුරුම් දෙන්නේ සිය පුතුන් දෙදෙනා ප්‍රතිකාර ගත් රෝහලේ ඔවුන්ගේ කුටියේ සිටය.

ආදරණීය බිරියත්, කුඩා දියණියත් අහිමි වීමෙන් පසු බයිඩ්න්ට දෙවියන් කෙරෙහි තිබුණු විශ්වාසයත් බිඳ වැටුණු අතර, දෙවියන් ඉතා නපුරු විදිහට තමාගේ ජීවිතය සමඟ සෙල්ලම් කළ බව ඔහු පසු කලෙක කීවේය.

ඔහු නැවත විවාහ වූයේ පළමු බිරිය මිය යෑමෙන් වසර 5කට පසුය.

1977දී ඔහුගේ දෙවැනි විවාහය සිදු වූයේ ජිල් ට්‍රේසි සමඟය. නොසිතූ ලෙස අමෙරිකාවේ පළමු ආර්යාව වීමේ වාසනාවන්තිය වූ ඇය ද මුල් කාලයේ ගුරුවරියක වූවාය. ඔවුන්ගේ දියණිය ඈෂ්ලි උපන්නේ 1981දිය. අමෙරිකාවේ සමාජ ක්‍රියාකාරිනියක හා මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ඇයට දැන් ධවල මන්දිරයේ ඉහළ තනතුරක් ලැබෙනු ඇත.

බයිඩ්න්ගේ පළමු විවාහයෙන් ඉතිරි වූ පුතුන් දෙදෙනාගෙන් වැඩිමලා ජෝශප් 2010 දී මෙලොව හැර යන්නේ පිළිකා රෝගයට ගොදුරු වීමෙනි. බාල පුතු රොබර්ට් දැන් පියාගේ දේශපාලන ජීවිතයේ සෙවණැල්ලය.

2017දී බයිඩ්න් විසින් ලියා පළ කරන ලද ‘Promise me, dad’ කෘතියේ ඔහු මෙසේ සටහන් කර තැබුවේය.

‘මගේ ජිවීතයේ බිඳ වැටීම නීලියාගේ වියෝවයි. ඒ වේදනාව කවදාවත් දරාගත නොහැකි තරම් විශාල එකක් වුණා. එහෙත් මට නැවත පවුලක් විදිහට නැඟී සිටින්න බොහෝ අය දුන් දිරිය නිසා ඒ වේදනාව දීර්ඝ කාලයකට පසුව තරමක් තුනී වුණා. ඒත් අදටත් නීලියා ගැන මගේ සිතේ ඇත්තේ විශාල ගෞරවයක්. ආදරයක්. ඇය තමා මගේ හොඳම යෙහෙළිය වුණේ. මගේ ශ්‍රේෂ්ඨතම සහායිකාව වුණේ. මගේ අනුරාගී පෙම්වතිය වුණේ. අපි එකට ජීවත්ව සිටි කාලයේ හැම දෙයකින්ම අතිශය සතුටට පත්වුණා. ලිංගික ජීවිතයේ සිට නොයෙක් ක්‍රීඩාවල නිරත වීමෙන් අප පුදුමාකාර සතුටක් ලැබුවා. මට අහිමි වුණේ මොකක්ද කියලා ගොඩාක් අය දන්නෙ නෑ. ඒ මොකද එයාලා කවදාවත් දැනගෙන හිටියේ නෑ මට හිමිවෙලා තිබුණේ මොකක්ද කියලා. ‘

උපුටා ගැනීම දිනමිණ

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago