මරා දමා වසර පනහකට පසු සැමරූ මරදානේ චොප්පේ

මරදාන ‍පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය. මරදාන ‍පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමග ‍පොලිස් භටයින් හතරදෙනකු මේ යන්නේ මරදාන ‍පොලිස් වසමේ රාත්‍රී මුර සංචාරයක කටයුතු සඳහාය. මරදාන මාර්කෙට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය.

නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මගක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය. බයිසිකලයේ පැමිණි පුද්ගලයා අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ දිග වින්චෙස්ටර් විදුලි පන්දමකි. ජීප් රථයේ සිටි එක් ‍පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළිපිට දැම්මේ ‍පොලීසියටම හිමි ආදරණීය බසින් පුද්ගලයා ඇමතීම සඳහාය. නමුත් ඔහු පිටවෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහද හඬකින්, ආ චොප්පෙ අයියා යයි කීවේය.

ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම් එක කකුලක් ‍පොළවට බරදී අනික් කකුල බයිසිකල් පැඩලය මත රඳවාගෙන සිටි පුද්ගලයා කීවේය. ඒ චොප්පේ අයියාය.

එක්දහස් නවසිය හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකම සන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක් වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ මෙම චොප්පෙ අයියාය. රාත්‍රී අඳුර වැටුණ පසු අනුග්‍රාහකයකු අල්ලා ගැනීමට පරණ වාඩිය, පුංචි බොරැල්ල හන්දිය, ඩීන්ස් පාර, මරදාන දුම්රිය‍පොළ ඉදිරිපිට කැරකෙන ගණිකාවන් චොප්පෙ අයියා එනවිට අඳුරු මුල්ලක සැඟවුණේ චොප්පෙ අයියා දුටහොත් කුණු බැණුම් ඇසීමට සිදුවන නිසාය. හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකේම වෙනත් ලපයි සිපයි ‍පොරවල් චණ්ඩි පාට් දමමින් හුලාහුප් නටන්න පැමිණියේ නැත. මුළු මරදානේම අණසක පැතිරුවේ චොප්පෙ අයියාය.

චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු සිටියේ නැත. කප්පම්කාරයෝ සිටියේ නැත. බ්‍ලේඩ් ඩප්පි, ටිංකිරි ටින් තිබුණේ නැත. මුළු මරදානම සරන්ඩර්ය. එක්දහස් නවසිය තිස්පහේ පෙබරවාරි හතරවැනිදා මරදාන මරියකඩේ ප්‍රදේශයේ උපන් මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියාට සහෝදරයන් සතර දෙනකු විය. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, ‍පොඩි මහත්තයා ඒ හතරදෙනාය.

චොප්පෙගෙ පියා මනුවෙල් රාජපක්ෂය. ඔහු දක්ෂ ලීබඩු ‍පොලිෂ් කරන්නෙකි. සේවය කළේ දයාවංශ ජයකොඩිගේ පියාගේ මරදාන පිහිටි ලීබඩු සාප්පුවේය. ඒ කා‍ලේ මරදාන ආනන්ද පාරේ කෙළවර උසාවිය ළඟ තියෙන වයිට් පාර්ක් එකට එනවා. අර වේවැල්වලින් හදපු රාග බෝල ගහන්න. මම දන්නතරමට හොඳ මිනිහෙක් දයාවංශ ජයකොඩි චොප්පෙ අයියා පිළිබඳව මතකය අලුත් කරමින් පැවැසීය.

චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාස‍ලේය. පහේ පන්තිය දක්වා පමණි. මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාස චොප්පෙගෙ පන්ති මිත්‍රයකි. චොප්පෙ අයියා අසාමාන්‍ය ශරීර ස්වභාවයකින් යුක්ත අයකු විය. ඔහුගේ අත්දෙක කකුල් දෙකේ දණහිසෙනුත් පහළට දික්ව සිටී. මෙනිසා ඔහුට කෙනකුට දුර සිටම තියුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාව තිබුණි. එසේම දකුණු කකුල ඉහළට නව බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක්ද චොප්පෙ අයියා සතු විය.

චොප්පෙ අයියා දක්ෂ චීනාඩි කාරයෙකි. හතරමුල්ල පැන අහස් ප්‍රහාර ඔහු එල්ල කරන්නේ අකුණු ගසන්නාසේය. චොප්පෙ අයියා මේ චීනාඩි ඉගන ගත්තේ කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙනි. ඒ දිනවල බොරැල්ල කානිවල් එකේදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනඩි ගහනවා නරඹන්නට මිනිසුන් පැමිණෙන්නේ ‍පොරකමිනි. නන්දිසේන කුරේ හිටපු ඇමැති සිරිසේන කුරේගේ වැඩිමහල් සහෝදරයාය.

හැට ගණන්වල මරදාන අවට ප්‍රශ්න පමණක් නොව වෙනත් ප්‍රදේශවල ප්‍රශ්නද විසඳා ගැනීමට එන්නේ මරදාන චොප්පෙ අයියා ළඟටය. චොප්පේ අයියා ජීවත් වුණේ මැද කොළඹ ආසන්නයේය. එනිසා ඔහුට බොහෝ දේශපාලන සබඳතා විය. චොප්පෙ අයියා කැපුවත් කොළය. උග්‍ර යූඑන්පී කකුලකි.

ඒ දවස්වල අපේ තාත්ත නිතරම බොරැල්ලෙ වුඩ්ලන්ඩ් වලව්වට යනව. ඩඩ්ලි හාමු තාත්තගෙ හොඳ හිතවතෙක්. මේ තොරතුරු මට කියන්නේ චොප්පෙ අයියාගේ පුතෙකි. ඩඩ්ලි සේනානායක සහ චොප්පෙ අයියා හොඳ මිතුරන්ය. ඩඩ්ලි සේනානායකගේ දුම්කොළ පයිප්ප කීපයක්ම අදටත් චොප්පෙ අයියාගේ ගෙදර සුරැකිව ඇත.

චොප්පෙ අයියාගෙ හොඳම ගෝලයා මදාවි සෝමෙය. දෙන්නාම හොඳ චීනාඩිකාරයෝය. යන්නේ එන්නේ එකටමය. ඒ කොළඹ නගරය පමණක් නොව මුළු ලංකාවම පුරාම මොරිස් මයිනර් කාර් රජ කළ යුගයයි. චොප්පෙ අයියාද තම අගසව්වන් සමග ගමන් කළේ මොරිස් මයිනර් මෝටර් රථයකය. අංකය 2 ශ්‍රී 4016ය. එය චොප්පෙ අයියාගේ මිත්‍ර, මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාසගේය.

රාහුල සිල්වා යනු එකල රහස් ‍පොලීසියේ ‍පොලිස් පරීක්ෂකවරයෙකි. නමගිය ‍පොලිස් කෙරුමෙකි. දිනක් මරදාන පටු පාරක රාහුල සිල්වා තම ජීප් රථය පදවාගෙන පැමිණියේය. අනික් පැත්තෙන් එයට මුහුණලා චොප්පෙ අයියාගේ මොරිස් මයිනර් රථය පැමිණියේය. වාහන දෙකට එකවර මාරුවීමට නොහැක. කිසිවෙක් හෝ ආපස්සට ගත යුතුය. චොප්පෙ අයියා කිසි ගණනක් නැතිව මෝටර් රථය තුළ සිටී.

මම රාහුල සිල්වා ජීප් රථයෙන් බැස පැමිණි හැඩිදැඩි ‍පොලිස් පරීක්ෂකවරයා පැවැසීය. රාහුලල ගොඩක් ඉන්නව. දොරේ එක්කෙනෙක් අපේ බුදු හාමුදුරුවන්ගෙ පුතා රාහුල. ඔය වගේ ඉන්නවා. ඒත් චොප්පෙල ඉන්නෙ එක්කෙනයි. ඒක නිසා පස්සට ගන්ඩ දොරේ චොප්පෙ අයියා පැවැසීය. ‍පොලිස් පරීක්ෂක රාහුල සිල්වා සිනාසෙමින් තම ජීප් රථය පසු පස්සට ගත්තේය. චොප්පෙ අයියා සිනාවෙමින් ඉදිරියට ගියේය.

චණ්ඩියා චිත්‍රපටය හදන කාලෙ ගාමිණී ෆොන්සේකා ඇවිල්ල අපේ තාත්තට කිව්වා චිත්‍රපටයේ ‍පොඩි කෑල්ලක් රඟපාන්න එන්න කියලා චොප්පෙ අයියාගෙ පුතා අතීත සිදුවීමක් සිහිපත් කරයි. මොකක්ද පාට් එක චොප්පෙ අයියා ගාමිණීගෙන් විමසීය. පයිට් එකකදි මගෙන් ගුටිකන්න ගාමිණී පැවැසීය. තමුන්නාන්සේගෙන් ගුටිකන්න? තමසෙ පිච්චර්වල වීරයා වෙන්න ඇති. ඒත් මමයි රටේ වීරයා චොප්පෙ අයියා පැවැසුවේ ගාමිණී ෆොන්සේකාව තඹ පයිසයකටවත් ගණන් නොගෙනය.

මිනිස්සු ඉන්නෙ කාටද කියල බලනවා. දවසක ටවර් එකට ගාමිණී එනවයි චොප්පෙ අයියා එනවයි කියල බලනවා. කාව බලන්නද වැඩියෙන් මිනිස්සු එන්නෙ කියලා චොප්පෙ අයියා වැඩිදුරටත් පැවැසීය. චොප්පෙ අයියාගෙ කතාව සහසුද්දෙන්ම නිවැරදිය. වරක් චොප්පෙ අයියාට විරුද්ධව නඩුවක් මාලිගාකන්ද උසාවියේ ඇසීමට තිබුණි. සාක්කි නොමැති නිසා නඩුව විසි කෙරුණි. සමහරුන් පවසන්නේ එදින සාක්කි නොමැති නිසා චොප්පෙ අයියාට විරුද්ධව තිබූ නඩු පනස් හතක්ම විසි කළ බවය. චොප්පෙ අයියාගේ නඩුවලින් පසුව මුළු උසාවියම හිස්විය. පැමිණ සිටි සියලුදෙනාම චොප්පෙ අයියාගේ හිතවතුන්ය. චොප්පෙ අයියාගේ නඩුවක් ඇති දිනයක ඒ උසාවිය අවට සම්පූර්ණයෙන් පිරී යන්නේ මොරිස් මයිනර් ටැක්සිවලිනි. ඔවුන් එන්නේ චොප්පෙ අයියාගේ ආරාධනයෙන් නොවේය.

එදා චොප්පේ ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළදා අවමඟුල් උත්සවයෙ ස්තුති කතාව කළේ ගාමිණි ෆොන්සේකාය.

චොප්පෙ අයියාට සහ මදාවි සෝමෙට කෝච්චියක් පැදවීමට දිගු කාලයක සිට ආසාවක් විය. දිනක් ඔවුන් දෙදෙනා මරදාන දුම්රිය ස්ථානයට ගොස් ටික වේලාවක් බලා සිටියහ. එක දුම්රියක රියැදුරු සහ සහයක අඟුරු දමන්නන් දුම්රියෙන් බැස ගිය පසු චොප්පෙ අයියා සහ මදාවි සෝමෙ දුම්රියට නැඟ එය මරදාන සිට කොටුව දෙසට පදවන්නට විය. නමුත් දෙදෙනාම දුම්රිය නතර කරන අන්දම දැන සිටියේ නැත. දෙදෙනා ඉදිරියට ඇදෙන දුම්රියෙන් පිටතට පැන ගත්හ. දුම්රිය කඩාගෙන ගොස් පීලි පැන නතර විය.

ඉස්සර දවසක වේ.වී. අබේගුණවර්ධන කියන පත්තර කර්තෘ මහත්තයකුගෙ පාකර් පෑනක් බම්බලපිටියේදි පිට් ‍පොකට් ගහල තියෙනවා චොප්පෙ අයියාගෙ පුතා තවත් සිද්ධියක් සිහිපත් කරන්නට විය. පත්තර කතුවරයා මේ හොරකම බම්බලපිටිය ‍පොලීසියට පැමිණිලි කළේය.

අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙ අයියට කියල බලන්න ‍පොලීසියේ පිළිතුර විය. පත්තර කතුවරයා චොප්පෙ අයියා මුණගැසුණි. කොහේදිද නැතිවුණේ? චොප්පෙ අයියා විමසීය.

බම්බලපිටියෙදි හෙට උදේ අටට මෙතැනට එන්න. මහත්තයට මහත්තයගෙ පෑන ලැබේවි චොප්පෙ අයියා පිළිතුරු දුන්නේය. චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවුඩයක් යැවීය. බම්බලපිටියේ චණ්ඩියා පාලය. මගෙ යාළු මහත්තයකුගෙ වටිනා පාකර් පෑනක් අද බම්බලපිටිය හන්දියෙහි ‍පොකට් ගහල තියෙනවා. හොයල බලල ඒක මිනිහත් එක්ක එවපන් බම්බලපිටියේ පාල ඒ අවට ‍පොකට්කරුවන් විමසූ විට පාකර් පැන ඉස්සූ ‍පොකට්කාරයා හමුවිය.

හෙට උදේ හය වෙද්දී උඹ ඕක චොප්පෙ අයියට ගිහිල්ල දෙන්න ඕන පාල නියෝග කළේය. පත්තර මහත්තයා උදේ අටට චොප්පෙ අයියාව මුණගැසීමට ගිය විට ඔහුට තමන්ගේ නැති වූ පාකර් පෑන ලැබුණි. එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල්ගහයට ගෙදර විසූ සර්වෝදයේ ඒ.ටී. ආරියරත්නව මැරීමට කොන්ත්‍රාත්තුවක් ලැබි පසුව එය ඉවතට දමා ඒ.ටී. ආරියරත්න සමග චොප්පෙ අයියා මිත්‍රවූ කතාවද ඉතාමත් ප්‍රකට එකකි.

1968 ඔක්තෝබර් 16 දින තියුණු කැපුම් තුවාල සහිතව චොප්පෙ අයියා මරා දමා තිබුණේය. ඔහුගේ අවමඟුල් උත්සවය සිදුවූයේ මහත් උත්සවාකාරයෙනි. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙන යන අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබිණි. චොප්පෙ අයියා මියගොස් වසර පනහකි. ඒ වෙනුවෙන් ගුණසමරු උත්සවයක් පසුගිය 16 වැනිදා පැවැත්විණි. එම උත්සවය පිළිබඳ සමරු ඵලක මරදාන පංචිකාවත්ත, පුංචිබොරැල්ල ආදී ප්‍රදේශවල ලයිට් කණුවක් ගානේ එල්ලා තිබුණි. මියගොස් වසර පනහක් ගතවුවත් මිනිස්සුන්ට චොප්පෙ අයියා අමතක වී නැති වග ඉන් පෙනේ. එසේම චොප්පෙ එක්තරා උප සංස්කෘතියක්ද වී ඇත්තේය. අදත් ගමේ චණ්ඩියෙකුට කියන්නේ ඌ චොප්පෙ කෙනෙක් කියාය. පාර්ලිමේන්තුවේ පවා මන්ත්‍රීවරයෙක් කලබලකාරී ලෙස හැසිරුණු විට ‘මොකද මේ චොප්පෙ වෙන්නද හදන්නෙ’යි අසන්නේය. ඒ චොප්පෙ අයියා ‘වන් ඇන්ඩ් ඔන්ලි’ නිසාය.

පීටර් කැනියුට් පෙරේරා

Recent Posts

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

11 hours ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

13 hours ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

14 hours ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

14 hours ago

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…

1 day ago

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…

1 day ago