.හේමාස් ආයතනයෙන් බිහි වූ ‘යකඩ ගැහැනිය’
ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ, සමාගමක මෙහෙයුම් ක්‍රියාවලියේ ඉහළම නිලය වන,’ ප්‍රධාන විධායක නිලධාරී ‘ හෙවත් CEO තනතුර බොහෝ විට මෙතෙක් දරා ඇත්තේ, පිරිමි පාර්ශ්වය විසිනි. කාන්තාවකට ඉහළට යෑමේ බාධක නැති බව සහ විනිවිදභාවය පෙනෙන්නට තිබුණත්, ඒ බොහෝ තැන්වල ඇතැම් පාර්ශ්ව විසින් ඇති කරන, Glass ceiling හෙවත් ‘වීදුරු සිවිලිම’ නම් නොපෙනෙන බාධකය හරස් වන්නේ, පිටතට නොපෙනෙන ආකාරයෙනි. ඒ නිසාමදෝ, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සහ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක එදා මෙදා තුර, CEO තනතුර සදහා කාන්තාවක් පත් වූයේ නැත.
එහෙත් ලබන ඔක්තෝබර් පළමු වැනි දා, ඒ ඉතිහාසය වෙනස් වේ. ශ්‍රී ලාංකේය ලැයිස්තුගත සමාගම් ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් වේ. එකී, ‘වීදුරු සිවිලිම’ බිඳ දමා, ඉතිහාසය වෙනස් කරන්නට සූදානම් ඇය, ශ්‍රී ලාංකේය ව්‍යාපාර ලෝකයේ නායිකාවක වන , කස්තුරි චෙල්ලරාජා විල්සන්ය. කලෙක ජාතික පිල නියෝජනය කළ ප්‍රකට නෙට්බෝල් ක්‍රීඩිකාවකි. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි.
වර්තමානයේ හේමාස් සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන කස්තුරි, ලබන ඔක්තෝබර් පළමු වැනිදා සිට සිය රාජකාරි අරඹනුයේ ව්‍යාපාර ලෝකයේ කාන්තා නායකත්වයට නව මානයක් එක් කරමිනි.ඒ පූර්වාදර්ශයට අනුව, මෙතෙක් CEO වරුන්ගේ බලකොටු ලෙස තිබූ සමාගම්වල, නුදුරු අනාගතයේදී CEO වරියන් අසුන් ගනු ඇත. “හුඟ දෙනෙක් එහෙම කිව්වට, රාජකාරි වැඩවලදී මට කවදාවත් විශේෂයෙන් හිතුණෙ නැහැ, මම කාන්තාවක් මේක මට බැරි වෙයි…හෝ මේක මට පුළුවන් වෙයි… කියලා. පැවරූ රාජකාරිය 200% ක් හොඳින් ඉෂ්ට කරන විදියයි, මම කල්පනා කළේ; මම ක්‍රියාත්මක වුණේ ඒක කරන්නයි.
ඇත්තටම, හේමාස් පරිසරය තුළ අපට කවදාවත් ගැහැනු පිරිමි භේදයක් හෝ උස් පහත් භේදයක් දැනුණෙ නැහැ. ඉහළින් තිබෙන නායකත්වය අපිට අභියෝග බාර දෙන කොට, ගැහැනු පිරිමි භේදය සලකා බැලුවෙත් නැහැ. හුසේන් එසුෆාලි, මගේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පවරපු හැම රාජකාරියකදී ම කිව්වේ, ‘මේක ඔයාට පුළුවන්, මේක කරන්න…’ කියලා විතරයි. එහෙම බැලුවොත් මගේ වෘත්තීය ජීවිතයේ මං වැඩිපුරම වැඩ කරලා තියෙන්නේ, සාර්ථක වෙලා තියෙන්නේ, බහුතරය පිරිමි පාර්ශ්වය නියැළි සිටි රාජකාරි අංශවල. මං මූල්‍ය අධ්‍යක්ෂ තනතුරේ ඉන්න විට, මුළු ගෲප් එකට ම මූල්‍ය අංශය කේන්ද්‍ර ගත කරලා විශේෂ ප්‍රවර්ධන ඒකකයක් හදන්න සභාපතිතුමා මට පැවරුවා. ඊට පස්සේ, නවීන තොරතුරු තාක්ෂණය එයට මුසු කළ විශේෂ ක්‍රියාවලියක් සකස් කරන්න සිද්ධ වුණා.
2011 වසරේදී මට පැවරුණේ නාවික සහ ගුවන් ප්‍රවාහන කටයුතු. ඒ තුළ වර්ධනය කළ හැකි අවස්ථා එතුමාට පෙණුනා. ඒ ක්ෂේත්‍රයෙත් වැඩිපුරම නියැළුණේ පිරිමි පාර්ශ්වය. නමුත් සභාපතිතුමා මට කිව්වේ, ” ඔයා මේ ෆීල්ඩ් එකේ අවස්ථා හඳුනා ගන්න ඕනේ. අලුත් ආයෝජන කරන්න ඕනේ. සමහරවිට වරදින්න පුළුවන්. ඒකට කමක් නැහැ , හරි තැන තෝරාගෙන ආයෝජන කරන්න…’ කියන එක විතරයි.
එතුමා මට බලය සහ නිදහස දුන්නා. මම ව්‍යාපෘති හතරක් කළා. දෙකක් හොඳින් සාර්ථක වුණා හැබැයි මට නිදහස තිබුණා අසාර්ථක වේගෙන එන තැන්වලින් ඉවත් වෙන්න. ඒ වෙනුවට වෙනත් මගක් තෝරගන්න. ෆාමසූටිකල් අංශයේදීත් ඒ වගේ.
ඇත්තටම, ඕනෑම ආයතනයක හොඳ දෙවැනි පෙළක් හැදෙන්නේ, නායකත්වයේ සාර්ථක භාවය මත. ඒ වගේම, ආයතනයක වඩා වැදගත් වෙන්නේ, නායකත්වය විසින් තමන්ගේ සේවකයන්ගේ අනන්‍යතා හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම තුළ ප්‍රමාණවත් බලය සහ නිදහස දී ක්‍රියාත්මක වීම සඳහා අවස්ථා දෙන්න ඕනේ. මට ඒ හැම අවස්ථාවක්ම නොඅඩුව ලැබුණා. චරිතයක් විදියට මං මාව ගොඩ නැඟුවේ, මේ පසුබිමත් එක්ක.
ඒ විතරක් නෙවෙයි, එකඟ නොවන තැන්වල අදාළ කාරණාව සම්බන්ධයෙන් අපි අතරේ ඕනෑ තරම් විවේචනාත්මක මත ගැටුම් තිබුණා. සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ මට ඉහළින් සිටි බ්‍රිතාන්‍ය ජාතික CEO වරයා විවේචනය කරන්න අපිට කිසි බාධාවක් තිබුණේ නැහැ අපි එහෙම කළා කියලා. ඔවුන් ඒ කාරණා පෞද්ගලිකව අරගෙන අපි එක්ක තරහා වුණෙත් නැහැ. රාජකාරියේදී මේ තියෙන මානසික නිදහස, හොඳම ඵලදායිතාවයක් ආයතනයට ලැබෙන්න බලපාන ප්‍රබල සාධකයක්. විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් ලෙස, තව තවත් දැවැන්තව පැතිරෙන්න හේමාස් වෙත බලපෑ ප්‍රබලම සාධකයත්, සේවකයන් තුළ තිබෙන මේ තෘප්තිමත්භාවය විය යුතුයි. එය ඕනෑම ව්‍යාපාරයකට පූර්වාදර්ශයක්…”
කෙසේ වෙතත්, මේ මොහොතේ ඇගේ දැඩි අවධානය යොමුව ඇත්තේ, සමාගමක් ලෙස ව්‍යාපාරයේ ධාවන වර්ධනය සහ කණ්ඩායම් ගොඩනැඟීම යන අංශ වර්ධනය කිරීම වෙනුවෙනි.
“මොකද මේ වෙනකොට මට හොඳ ටීම් එකක් ඉන්නවා. ටීම් එක ශක්තිමත් නම්, කරන හැම වැඩක්ම අති සාර්ථකයි. මම ඒ ටීම් එකේ ලීඩර් බව ඇත්ත. හැබැයි වැඩ කරන වෙලාවට මමත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් විතරයි. ප්‍රශ්නයක් ආවොත් ඉස්සරහට යන්නේ මම. වැරැද්දක් ආවොත් බාරගන්නේ මම. හොඳ අපි හැමෝම අතරේ බෙදෙනවා. කොයි යම් හෝ වැරැද්දක දී වුණත් මගේ ටීම් එකට අත තියන්න කාටවත් බැහැ. ටීම් එක ඇතුළේ අපි ඕනෑ තරම් තර්ක විතර්ක කර ගනීවි. විවේචනාත්මක මතවාද ඉදිරිපත් කර ගනීවි. ඒක වෙනයි.
මොකද මේ මං තනියම ආපු ගමනක් නෙවෙයි. මහන්සි වෙලා අධ්‍යාපනික පසුබිම හදා ගත්තට, මාව ඔසවා තැබුවේ ඔවුන්. ඒ නිසා මට ඉහළින් සිටි මගේ නායකයන්ගෙන් ඉගෙන ගත් මේ මානුෂීය ගුණාංග, මම මට පහළ අයටත් ආදර්ශයක් කොට දිය යුතුයි.
අනික, මේ කණ්ඩායම තුළ මට වඩා විවිධ දක්ෂතා තිබෙන අය හුඟක් ඉන්නවා. මගෙන් ඔවුන්ට ලැබෙන්නේ, සරල මඟ පෙන්විමක් සහ යම් උපාය මාර්ගික ගමන් මාර්ගයක් පමණයි. නායකයා වුණත් ?ඕනෑවට වඩා මැදිහත් වුණොත් ඔවුන්ගේ අනන්‍යතා එළියට එන්න, එය බාධාවක්. හේමාස් පවුල තුළ මා උගත් හොඳම පාඩම තමයි, සේවකයන්ගේ අනන්‍යතා හඳුනාගෙන, අවස්ථා දුන්නොත් ඔවුන්ගේ උපරිම ඵලදායිතාව ආයතනයට ලබා ගත හැකි බව.
ඔබ දන්නවද…මං හේමාස් එනකොට සමත් වෙලා තිබුණේ, Cima සුදුසුකම විතරයි. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය, ඉන්දියාවේ ISB යුනිවර්සිටිය, හාවඩ් විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල තැන්වලට යවලා මාව අධ්‍යාපනිකව ගොඩනැඟුවේ මගේ ආයතනය. මට විතරක් නෙවෙයි, ඉහළට යන්න කැමති හැම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන එක මේ ආයතනයේ සංස්කෘතියක්. එහෙම සංස්කෘතියකින් ගොඩනැගුණු අපේ යුතුකම තමයි, අපි ගොඩනැගුණා වගේම, සේවක මණ්ඩලය… කොටස් හිමියන් සහ පාරිභෝගිකයාත් ඇතුළත් අපේ සමස්ත ව්‍යාපාරයේම දියුණුව වෙනුවෙන් කැප වෙන එක.
2002 අවුරුද්දේ හේමාස් සමාගමේ මූල්‍ය අංශයේ සාමාන්‍යාධිකාරිවරිය විදියට මං බඳවා ගැනීමේ ඉන්ටවිව් එකට එද්දී, මම ඔවුන්ට කිව්වා මම single mother කෙනෙක්. හැබැයි මගේ වැඩ හොඳයි. මට හංගන්න දෙයක් නැහැ. දරුවෝ දෙන්නෙක් එක්ක ජීවිතයට මුහුණ දෙන තනි කාන්තාවක් විදිහට ඕනෑම තැනක ඇත්ත කියන්නත්, මගේ අදහස ප්‍රකාශ කරන්නත් මම මැලි වෙන්නේ නැහැ. අවාසියක් වෙයි කියලා, කට වහගෙන ඉන්නෙත් නැහැ. මේවා, මගේ මුළු ජීවිත කාලෙම කවදාවත් නැතිි කර නොගන්නා මගේ ප්‍රතිපත්ති.
ක්‍රීඩාවටම ඇලී හිටපු මගේ ළමා කාලේ මගේ අම්මා මට නිතර කිව්වේ ‘ඔයා ඕන තරම් සෙල්ලම් කරන්න. හැබැයි අධ්‍යාපන සුදුසුකම් ටික හදාගන්න. ‘ මං අදටත් කාටවත් අත නොපා ජීවත් වෙන්නේ මං ඉගෙන ගත්තු නිසා. ස්වාධීනව ගොඩනැඟුණු නිසා’ කියලා “
ජීවිතය පදම් කළ ඒ අතීතය, කස්තුරි කිසි විටෙකත් සඟවන්නේ නැත. තාත්තාගේ බීමත්කම… අම්මාගේ අප්‍රතිහත ධෛර්යය… අරපිරිමැස්මෙන් පිරුණු ළමා විය… ක්‍රීඩාවෙන් ලද සැනසීම…. මිහිරි අමිහිරි මතක සේ, ඇගේ මනස තුළ සැමදා පෙරළි කරයි. “ඒ ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ. මගේ තාත්තා qualified accountant කෙනෙක්. හැබැයි හැමදාම මත්පැන් බිව්වා. මට අවුරුදු පහ විතර වෙනකොට තාත්තට රස්සාව නැති වුණා. ඒ නිසාම අම්මා රස්සා තුනක් කළා. උදේට ඉස්කෝලේ ඉගැන්වුවා. දවල්ට විශ්වවිද්‍යාලයේ දේශන කරන්න ගියා. හවසට ටියුෂන් දුන්නා. සමහර දාට රෑ වෙනකම්. මේ අතරේ ගෙදර කිකිළියො 50 ක් විතර ඇති කළා; බිත්තර විකිණුවා.
ඉස්කෝලේ ඇරිලා ඇවිත්, අක්කයි මමයි ත් කුකුළු කොටුවෙ වැඩ කළා. තාත්තට රස්සාවක් නැති නිසා අපිට සල්ලි තිබුණේ, අම්මා උපයපු බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ කාලේ ඇඳුම්වලට වුණත් වියදම් කරන්න අම්මට මුදල් තිබුණේ නැහැ. පූගොඩ,වේටෙක්ස් රෙදි අරගෙන ඇවිත්, අම්මා ම ගෙදර ඇඳුම් මැහුවා. අක්කා ඇඳපු ගවුම් තමයි සමහර කාලවල මම ඇන්ඳේ. අම්මා විඳින දුක දැකපු නිසා, අපි කවදාවත් අම්මට කරදර කළේ නැහැ. ඉස්කෝලේ යන කාලේ මං අච්චාරු කන්න හරි ආසයි. ඒත් හැමදාම බැහැ. සමහර දාට වැල්ලවත්තේ අපේ ගෙදර ඉඳන් බම්බලපිටියට පයින් ගිහින් බස් කාසි ඉතිරි කර ගත්තා අච්චාරු කන්න.
නොබීපු දවසට තාත්තා හරි හොඳයි. ඒත් බීපු දවසට හැමදාමත් රණ්ඩු. පුංචි ළමයෙක් හැටියට මං මේ දේවල් දරා ගත්තෙ කියා ගන්න බැරි තරම් අමාරුවෙන්. මං වැඩි වැඩියෙන් නෙට්බෝල් ගැහුවා. basketball ගැහුවා. athletic කළා. යාලුවෝ එක්ක පල්ලියට ගියා. මගේ පීඩනය මං දරා ගත්තෙ ඒ විදියට. ළමයෙක් හැටියට ඒ විඳපු පීඩනය මගේ මනසේ හැමදාමත් තිබුණා.
ඒ නිසා, ප්‍රශ්නයේ ස්වභාවය සමාන නොවුණත්, මවුපියන්ගේ ගැටුම් නිසා දරුවන්ගේ මනසට දැනෙන අහිතකර බලපෑම මම මගේ දරුවන්ට, මොහොතකටවත් දෙන්න කැමති වුණේ නැහැ. හරි හෝ වැරැදි, දික්කසාද වෙලා මම තනි මවක් විදිහට ජීවත් වෙන්න තීරණය කළා. ඒත් දරුවන්ගේ කාරණාවලදී අපි හොඳ මිත්‍රයෝ. ඔහු ඉතා හොඳ පියෙක්. නැති වූ දේ ගැන හිතනවට වඩා, තියෙන දේ එක්ක සතුටින් ඉදිරියට යන එකයි වැදගත්. ජීවිතේ දි වුණත් ව්‍යාපාරයකදී වුණත් මේ දේ හැම විට අදාළයි.
අද මම හුඟක් සතුටින්. මට ඉතා හොඳින් හැදුණු දරු දෙන්නෙක් ඉන්නවා.වයස 27යි. සහ 25යි. අම්රිත් සහ අශ්වින්ද්. මගේ අම්මා, අපි වෙනුවෙන් කළා වගේම, මාත් මේ තරම් කැපවීම් කළේ ඒ දෙන්නා හොඳ මිනිස්සු වෙනවා දකින්න. අද ඒ සතුට මට ඕනෑවටත් වැඩිය තියෙනවා.දැන් මට තියෙන්නේ මගේ ආයතනය වෙනුවෙන්… මගේ රට වෙනුවෙන්, උපරිමය ඉටු කරන්න. ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් වෙනුවෙන් ම හේමාස් හැදු, ‘ආයතී’ මධ්‍යස්ථානය සහ පෙර පාසැල් 56 එක්ක වැඩ කරන්න ලැබීමම මට මහා සතුටක්. ළමයෙකුට ලස්සන ළමා කාලයක් හදලා දෙන්න පුළුවන් නම්, ඒක හැමදාම අපිව සතුටින් තබන විශාල ආත්ම තෘප්තියක්…”
මේ, කස්තුරිගේ ජීවිතයයි. ව්‍යාපාර ලෝකයේ තිස් වසරක අත්දැකීම් ඇතත්, කාන්තාවක ලෙස ඇගේ වෘත්තීය ජීවිතයේ ඉදිරිය මීටත් වඩා අභියෝගාත්මක වන්නට පුළුවන. එහෙත්, ඇයට එය ප්‍රශ්නයක් නොවේ.
ක්‍රීඩාව සහ අත්දැකීම් විසින් පදම් කරන ලද ඒ ජීවිතය අභියෝගවලට රිසිය. ‘සතුටින් වැඩ කිරීමට හැකි’ ආයතනයක සාමාජිකයකු වීම ඊටත් වඩා ඈ සතුටට පත් කරයි.
එතරම් උස මහත නැතත්, වැටෙන පැරදෙන ඕනෑ තැනක ඔට්ටු වන්නට තරම් ඈ හයිය ගැහැනියකි. පනස් එක් හැවිරිදි වුවත්, ඈ තුළ සිටි ක්‍රීඩිකාව, තවමත් එලෙසම ක්‍රියාශීලීය. ෆැෂන්වලට බෙහෙවින් කැමැති ය.
එහෙත් ඒ ෆැෂන්, දේශීය දේ ඇසුරෙන් නිර්මාණය වූ ඒවා මිස , ගිනි ගණන්වලට මිලදී ගන්නා ලෝ ප්‍රකට සන්නාම නොවේ. මිලදී ගෙන අවුරුදු දහයක් පැරැණි වුවත්, සාරියේ පෙනුම හොඳ නම්, ඇයට ඒ ප්‍රමාණවත්ය. ඇඳුම්වලට එතරම් වියදම් නොකළත්, පදින්නට කැමති වාහනය නම්, දෙවරක් නොසිතා මිලදී ගනියි. මුළු ජීවිතයේම දුක් විඳ රැස් කොට, කිසිවක් නො විඳ මිය යන මිනිසුන් අතරේ, කස්තුරි වෙනස් වන්නේ එලෙසය.
උපුටන. ඉනෝකා පෙරේරා බණ්ඩාර



