Wednesday, September 16, 2026
Homeදේශීයලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස් වෙත දැඩි විවේචන

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ලෝක ශූරයකු බවට පත්වූ ජැවලින් ක්‍රීඩක රුමේෂ් තරංග යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුහුණ දුන් සිදුවීමක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.

ඒ ඔහුගේ ජැවලින් ඇතුළු වටිනා ක්‍රීඩා උපකරණ ගුවන් ගමන අතරතුරදී හානි වී තිබීමයි.

රුමේෂ් තරංග සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ හානි වූ ජැවලින්වල ඡායාරූප කිහිපයක් පළ කරමින් මේ සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර තිබෙනවා.

විශේෂයෙන්ම ලෝක මට්ටමේ ක්‍රීඩකයකුට ජැවලින් යනු සාමාන්‍ය ගමන් මල්ලක තිබෙන භාණ්ඩයක් නොවන බව මෙහිදී අමතක කළ නොහැකියි.

එය ක්‍රීඩකයාගේ තාක්ෂණය, පුහුණුව සහ තරගකාරීත්වය සමඟ සෘජුව සම්බන්ධ වන විශේෂිත ක්‍රීඩා උපකරණයක්.

එවැනි උපකරණ කිහිපයක්ම එකවර හානි වීම හේතුවෙන් රුමේෂ්ට සිදුව ඇති පාඩුව මුදලින් පමණක් මැනිය නොහැකි බවයි ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙන්නේ.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් Turkish Airlines සිය සමාජ මාධ්‍ය ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

“ඔබගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය පිළිබඳව අසා අප කනගාටු වනවා. මෙම තත්ත්වය ඔබට කෙතරම් අපහසු සහ කනගාටුදායකද යන්න අපට අවබෝධයි” යනුවෙන් සඳහන් කරමින්, වැඩිදුර කටයුතු සඳහා Baggage Irregularity Number සහ විද්‍යුත් තැපැල් ලිපිනය පෞද්ගලික පණිවිඩයක් මඟින් ලබාදෙන ලෙස ගුවන් සමාගම ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, එම ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර විවිධ අදහස් පළවෙමින් තිබෙනවා.

ලෝක ශූරයකු ලෙස රටට පැමිණෙන ක්‍රීඩකයකුගේ වටිනා ක්‍රීඩා උපකරණ මෙලෙස හානි වීම සරල “baggage issue” එකක් ලෙස සලකා අවසන් කළ හැකිද යන්නත් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

රුමේෂ් තරංග පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමින් ඉහළට ඔසවා තැබූ ක්‍රීඩකයකු බව අමුතුවෙන් කිව යුතු නැහැ.

READ:   ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මියයයි

එවැනි ක්‍රීඩකයකුගේ ජයග්‍රහණය පිටුපස වසර ගණනාවක කැපවීමක්, පුහුණුවක් සහ පරිත්‍යාගයක් තිබෙනවා.

ඒ නිසා මෙහි ප්‍රශ්නය වන්නේ ජැවලින් කිහිපයක් කැඩී යාම පමණක් නොවෙයි.

ලෝක ශූරයකුගේ වෘත්තීය ජීවිතයට වැදගත් උපකරණයකට සිදුවූ හානිය සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ කවුද යන්නයි.

තුර්කි එයාර්ලයින්ස් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගට ලැබිය යුතු පිළිගැනීම වෙනුවට, හානි වූ ජැවලින් කිහිපයක් සමඟ ගුවන් තොටුපළේ සිටීමට සිදුවීම ඇත්තටම කනගාටුදායක අවසානයක්.

ක්‍රීඩකයන්ගේ උපකරණ යනු හුදෙක් ගමන් මලු නොවේ. ඒවා ඔවුන්ගේ ජයග්‍රහණවල කොටසකි.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්