Friday, April 17, 2026
Homeදේශීයඅතපසු වූ අධ්‍යාපනය අධිෂ්ඨානයෙන් ජය ගන්න පුළුවන් - උණගලාවේ සිරිනන්ද හිමි

අතපසු වූ අධ්‍යාපනය අධිෂ්ඨානයෙන් ජය ගන්න පුළුවන් – උණගලාවේ සිරිනන්ද හිමි

දීර්ඝ පාසල් නිවාඩුවකින් පසු දරුවන්ට යළිත් පාසල් යෑමට අවස්ථාව ලැබී තිබේ. මාස හතරක් පුරා නොලැබුණු අධ්‍යාපනය ඉදිරි කෙටි කාලයකදී සම්පූර්ණ කර ගන්නේ කෙසේ දැයි දරුවන් දැඩි මානසික පීඩාවට පත් කරන්නකි. එවැනි තත්ත්වයෙන් මිදී නිරවුල් මානසිකත්වයෙන් යුතුව අධ්‍යාපන කටයුතු සපුරා ගන්නා ආකාරය පැහැදිලි කර ‍දෙමින් ධර්ම සභාවෙන් ඔබ දැනුම්වත් කරන්නේ යටියන, නිට්ටඹුව ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරාධිකාරී, නිට්ටඹුව රන්පොකුණගම මහා විද්‍යාලයේ ආචාර්ය, උණගලාවේ සිරිනන්ද හිමිය.

කො‍රෝනා වසංගතය හේතුවෙන් දරු වන්ට අධ්‍යාපනය මාස හතරක් පමණ කාලයක් ලබා ගැනීමට නොහැකි වුණා. මේ තත්ත්වය දරුවන්ට බලපෑවේ කොහොමද?

බෞද්ධ සංස්කෘතියට අනුව බැලුවොත් කිසියම් කටයුත්තක නියුතු වී සිටියහොත් පමණයි අපි ඒ සමඟ බැඳිල ඉන්නෙ. දන්, පින් කටයුතුවල නිරතුරුව යෙදී සිටින අය ඒ කාර්යයේ දිගින් දිගටම යෙදෙනවා. පන්සල සමඟ දුරස්ථව කටයුතු කරන පුද්ගලයන් ආගමික කටයුතුවලින් ඈත් වෙනවා. ඒ වගේ තමයි සතියට දින පහක් පාසල් පැමිණි දරුවා දීර්ඝ කාලයක් පාසලින් ඈත්වී අධ්‍යාපනයෙන් දුරස් වීම ඔවුන් යම්කිසි මට්ටමක අධ්‍යාපනයෙන් දුරස්වන ස්වභාවයක් ඇති වෙනවා. රටේ පැවති තත්ත්වයත් එක්ක බැලුවම දරුවන් අධ්‍යාපනයට නැඹුරු වීමේ මැළිකමක් ඇති වී තිබෙනවා. ඕනෑම කෙනෙක් යම් කටයුත්තකින් ටික කාලයක් ඈත් වී සිටියම ඒ දේට මැළි කමක් දක්වනවා. පාසල් යන දරුවා පැය හයක කාලයක් ඇසුරු කරන්නෙ ගුරුවරයන් සමඟයි. ඔවුන් සමඟ දරුවා ආකල්ප, දැනුම හා කුසලතා යන අධ්‍යාපන තත්ත්වයන් එක්ක කටයුතු කරනවා. එයින් මිදී වැඩි කාලයක් නිවසට වී සිටින දරුවා පාසල් අධ්‍යාපනයට බාහිර වෙනත් කටයුතවල නිරත වුණා. ඒ නිසා දරුවන් අධ්‍යාපනයෙන් ටිකින් ටික ඈත් වී ගිය ස්වභාවයක් දකින්න ලැබුණා.

පසු ගිය කාලයේ ඇතැම් ගරුවරුන් අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට අධ්‍යාප නය ලබා දෙන්න උත්සාහ කළා. ඒ උත්සාහය සාර්ථ කයි කියා සිතනවා ද?

දරුවන් පාසල් අධයාපනය සමඟ ඇතිවන දුරස්ථභාවය අවම කර ගන්න ඇතැම් ගුරුවරුන් අන්තර්ජාලය ප්‍රයෝජනයට ගනිමින් දැනුම ලබා දීමට උත්සාහයක නිරත වුණා. එයින් දුරස්ථ අධ්‍යාපනයක් ලැබුණ නිසා එය කොතෙක් දුරට සාර්ථක දැයි කියන්න බැහැ. සාර්ථක අධ්‍යාපනයක් හුවමාරු වෙන්න නම් ගුරු – සිසු සමීප සම්බන්ධතාවක් අවශ්‍යයි. ඒ සම්බන්ධව බුදු වදනෙත් මෙහෙම තිබෙනවා. සාමනේර භික්ෂුවක් ගුරු හාමුදුරුවන්ගෙ ඇසුරෙ හැදෙන සෑම විටම ගුරු හාමුදුරුවන්ගෙ ආදර්ශය දකින පරිසරයක් තිබිය යුතුයි කියල. පාසලින් බැහැරව දරුවන් අධ්‍යාපනයට යොමු කරනවට වඩා, පාසල තුළ ගුරුවරුන්ගේ ඇසුර යටතේ ලබන අධ්‍යාපනය සාර්ථකයි. පසුගිය කාලයේ පැවැති වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබූවත් අතපසු වන විෂයන් කෙසේ හෝ දරුවන්ට උගන්වන්න ඕන කියන චේතනාව මුල් කරගෙන ගුරුවරුන් දුරස්ථභාවය මධ්‍යයේ වුවද දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළා. එය නරක දෙයක් නෙවෙයි. මොකද සෑම ගුරුවරයෙක්ම උත්සාහ කරන්නෙ තමන්ට අයිති විෂයෙන් දරුවන්ට හොඳ දැනුමක් ලබා දෙන්නයි. මාසික වේතනයක් ලැබුවත් ගුරුවරයාගේ සේවයට කැපවීමට වටිනාකමක් දෙන්න බැහැ. රටක අනාගතය නිර්මාණය කරන්නෙ ගුරුවරයා. ඔවුන් නිරතුරුව උත්සාහ කරන්නෙ දරුවන් උගතුන් කරන්නයි. දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වෙනව ඔවුන්ට බලා සිටිය නොහැකියි. ඒ නිසා තමයි කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහ කළේ.

READ:   අභිනව ජනාධිපතිවරයා දිව්රුම් දීම සදහා පැමිණිම

එහෙත් පාසලේදී ගුරුවරයා ඇසුරේ තබාගෙන ලබා දෙන අධ්‍යාපනයේ තරම් සාර්ථකභාවයක් නැහැ. ඒ වගේම තමයි අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට ඒ හා සම්බන්ධ වෙන්න බැරි වුණා.

පාසලින් දුරස්ථව හා පාසල තුළදී දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය අතර වෙනස මොන වගේ ද?

පාසලේ පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ අවසානය දක්වා ලබා දෙන අධ්‍යාපනයේදී ගුරුවරයා ගනුදෙනු කරන්නේ දරුවාගේ මනස සමඟයි. එක් එක් දරුවාගේ මානසික මට්ටම හා බුද්ධි මට්ටම අව‍බෝධ කරගෙනයි අධ්‍යාපනය ලබා දෙන්නෙ. දරුවාට වරදින තැන් අවබෝධ කරගෙන නිවැරදි කරන්නයි ගුරුවරයා උත්සාහ ගන්නෙ. පාසලේදී ගුරුවරයා වරෙක දරුවාට ගුරුවරයකු මෙන්ම හොඳ මිතුරකු ද වෙනවා. විෂයට අමතරව බාහිර කරුණුවලින් ද දරුවා පෝෂණය කරනවා. ගුරුවරයා කටයුතු කරන්නෙ දරුවාට පොත පත පමණක් නොව බාහිර, සමාජ අවබෝධය ලබාදීමටයි. ඒ වගේම තමයි ගුරුවරයකු පන්තියේ උගන්වන විට ගුරු – සිසු නෙත ගැටීම මඟින් නිරතුරු අවධානය තබා ගැනීම සිදුවෙනවා.

එවැනි දේ දුරස්ථ අධ්‍යාපනයෙන් ඉටු වෙන්නෙ නැහැ. දැනුම යම්කිසි මට්ටමකම වර්ධනය වුණත් ආකල්පමය වශයෙන් ඇතිවන බැඳීම් සිරිත්, විරිත් ගිලිහිලා යනවා.

අතපසු වූ විෂයන් කෙටි කාලයකදී අධ්‍යාප නය කිරීමේදී දරුවා මානසිකව පීඩාවට පත්වෙනවා. එවැනි තත්වයකදී කළ යුත්තේ කුමක්ද?

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් මානසික පීඩාවකට පත්වීමේ ඉඩ කඩ වැඩියි. අපේ රටේ සංස්කෘතියකට හා නීතියකට අනුව එක් එක් කාලව දී, එක් එක් විභාග පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාසල් දරුවන් ඒ කාල ඉලක්කකොට විභාගවලට සූදානම් වෙනවා. ඒ ආකාරයට අනුගත වී කටයුතු කළ දරුවන්ට පසුගිය මාස හතරක් පුරා අධ්‍යාපනයෙන් පෝෂණය වෙන්න බැරි වුණා. ඒ නිසා ගුරු – දෙගුරු හා සිසුන් ගැටලුවකට මැදිවී සිටිනවා, ඉදිරි කෙටි කාලයේදී විභාග සඳහා යා යුතු ඉලක්කය සපුරා ගන්නේ කොහොමද කියල. මේ හේතු නිසා විභාගයට සාර්ථකව මුහුණදීමේ මානසික ගැටලුවකට දරුවන් පත්ව තිබෙනවා. මෙවැනි තත්ත්වයකට පත් කෙනෙකුට පීඩාවට පත් මනස නිරවුල් කර ගන්න බෞද්ධ ධනාත්මක චින්තනයට අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා. මජ්ඣිම නිකායෙ උපරිපන්නාස්‍රකයේ විභංග වග්ගයේ බද්දේකරථ සූත්‍ර ‍දේශනාවේ සඳහන් වෙනවා. “අතීතයේ සිදුවීම් හා අනාගතයේ සිදුවීමට නියමිත දේවල් පසෙකලා, වර්තමානයේ ජීවත් වන තරමට පුද්ගලයාට සැනසීම හමුවෙනවා” කියලා. අතීතය දෙස බලා කම්පා නොවන ලෙසත් අනාගතය ගැන සිතා මහා බරක් සිතට නොගන්නා ලෙසත් හොඳ සිහියෙන් මේ මොහොතේ කටයුතු කරන ලෙසටත් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.

READ:   කතරගම දේවාලයේ රන්තැටිය මිසින් පොඩි කපුරාලට ඇප

යම් හේතුවක් නිසා අධ්‍යාපනයට බාධා ඇති වුණා. ඒ නිසා අපිට විෂය කරුණු ග්‍රහණය කර ගන්න බැරි වුණා යනාදී අතීත කරුණු එක්ක පීඩා විඳින්න එපා. විභාගයට තිබෙන්නෙ තව ටික දවසයි. මට හරියට පාඩම් කර ගන්න බැරි වේවි දැයි වශයෙන් අනාගතය ගැන සිතා අනවශ්‍ය පීඩනයක් මනසට ගන්න එපා. අතීතය හා අනාගතය ගැන දුක් වෙමින් අද දවසත් නිරපරාදේ ගෙවා දැමුවහොත්, අද දවසත් හෙට වෙද්දි වැඩ අතපසු වූ අතීතයට එක් වෙනවා. ඒ නිසා විභාග අපේක්ෂාවෙන් සිටින දරුවන් කළ යුතු එකම දේ වර්තමානයේ උපරිමයෙන් කැපවී කටයුතු කිරීමයි. කරණීය මෙත්ත සූත්‍රයට අනුව “සක්ඛෝ” ගුණයක් ( මට පුළුවන්) බටහිර සංස්කෘතියට අනුව Yes I Can (ඔව් මට පුළුවන්) පාඨය ධනාත්මක චින්තනය අවධි කරනවා. ඒ නිසා පාසල් දරුවන්ටත් වැරදුන තැන් නිවැරදි කරගෙන උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළොත් ඉදිරියේ තිබෙන සියලු අභියෝගවලට නිවැරදිව, සාර්ථකව මුහුණ දීමේ ශක්තිය ලැබේවි.

සටහන – නිශාන් මෙන්ඩිස් 
ඡායාරූපය – නුවන් අමරසිංහ

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්