වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නැති අතර ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විටත් ඇණහිට පවතිනවා.
කලා භවන සම්බන්ධයෙන් කලාකරුවන් හා වාස්තු විද්‍යාඥයන් අතර ඇති වී තිබෙන විසංවාදී අදහස්වලට සවන් දුන් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ පොදු එකඟතාවකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

කෙසේ හෝ සියලු පාර්ශ්ව සමඟ එකගත්වයක් ඇතිකරගෙන මේ වසර අවසානයට පෙර කලා භවන විවෘත කරලීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නා. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවද එතුමා අවධාරණය කළා.
අද කොළඹ නගරයට අවශ්‍යව ඇත්තේ නාට්‍යකරුවන්ට දරාගත හැකි මිලකට ලබා ගත හැකි උසස් ප්‍රමිතිගත නාට්‍ය ශාලා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජෝන් ද සිල්වා රඟහල ඉදිකිරීමෙන් පසු එවැනි මුදලකට නාට්‍යකරුවන්ට ලබා දිය හැකිවේදැයි විමසා සිටියා.

මේ ඉදිකිරීම් සහ පවත්වාගෙන යෑම් සම්බන්ධයෙන් නාට්‍යකරුවන් සමග සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹීම වඩාත් සුදුසු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.
ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.



