(ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 10 වන උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (10) සහ පෙරේදා (09) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
ජාතික සම්පත්වලට අගය එකතු කිරීමේ විශිෂ්ටතා කේන්ද්‍රය ලෙස අනාගත දැක්මක් සහිත නව සංකල්පීය විශ්වවිද්‍යාලයක් 2005 වර්ෂයේදී බදුල්ල කඳුකරයේ දර්ශනීය පරිසරයක සරුසාර වටපිටාවක ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ 14 වන ජාතික විශ්වවිද්‍යාලය වන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මේ වන විට රටේ සාම්ප්‍රදායික අධ්‍යාපනික සංස්කෘතිය වෙනස් කර ඇත. පුරාණ රටවැසියන්ගේ ආකල්ප මත පදනම්ව ගුණාත්මකභාවය අරමුණු කොට එළිදක්වා තිබේ.එම සන්ධිස්ථානයේ සිට සිය සෑම පියවරකදීම සාර්ථකත්වය සහ විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට යන ගමන ආරම්භ කර ඇත්තේ අධ්‍යාපන,පරිපාලන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහාය ඇතිවය. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය මූලික කරගත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික යහපැවැත්ම රට පුරා ස්ථාපිත කර මානව සම්පත් සංවර්ධනය අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් ඈත අතීතයේ සිටම ක්‍රියාත්මකව ඇත. එය ලොව විශාලතම භෞතික ව්‍යුහයන් වන පිරමීඩවලට පවා සැසඳිය නොහැකි ජේතවනය, අභයගිරිය සහ රුවන්මැලි මහසෑය වැනි ස්මාරක ව්‍යුහයන්ගෙන් හා කලාත්මක නිර්මාණ මගින් එළි දැක්වී ඇත. ඉංජිනේරු ඥානය හා පැරැන්නන්ගේ තාක්ෂණය පවා ගැඹුරු ස්වභාවයකින් යුක්ත විය. මිනිසාගේ භෞතික ලෝකය සාර්ථකත්වය මෙන්ම මනෝ විද්‍යාත්මක අස්වැන්න ගැන ද ජාතියේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියහ.
ජනතාවගේ විභවතාවන් ඉහළ නැංවීමට, රටවැසියන්ගේ ජීවනෝපාය පුළුල් දෘෂ්ටිකෝණයකින් අවබෝධ කර ගෙන තිරසාර සංවර්ධන නාමයන් මත පදනම්ව ජීව හා අජීව පරිසරය පිළිබඳ සමබර දැක්මකින් කටයුතු කළ බවට ෙඑතිහාසික සාධක අපමණය. ශාරීරික හා මානසික මානයන්ගෙන් පොහොසත්කම අධ්‍යයනය කොට භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරන අධ්‍යාපන ක්‍රමවේද මගින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන් නිර්මාණකරණයට හා ජාතික සංවර්ධනයට දායකත්වය දක්වයි.

උසස් අධ්‍යාපනය හා උපාධිය
උසස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාල, සහ වෙනත් උසස් අධ්‍යාපනය ආයතන විසින් සපයනු ලබන තෘතීක අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයට උපාධි හා පශ්චාත් උපාධි යන අධ්‍යාපන ක්ෂේත්‍ර දෙකම ඇතුළත් වේ. වෘත්තීය අධ්‍යාපනය සහ වෘත්තීයමය වශයෙන් නැඹුරු වූ උසස් අධ්‍යාපනය න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි, හැසිරීම් කතාබහ මෙන්ම ලිඛිත ප්‍රකාශන, කුසලතා සංවර්ධනයට උදවු කරයි.
තවද ව්‍යුක්ත සංකල්ප හා න්‍යායන් ග්‍රහණය කර ගැනීමට ද ලෝකය සහ ප්‍රජාව පිළිබඳ අවබෝධය වැඩි කරන දැනුම හා ආකල්ප පුළුල් කිරීමට ද උසස් අධ්‍යාපනය උදවු වේ. වසර හතරක් පුරා පැය හයදහසකට වැඩි කාලයක් වෙහෙස මහන්සි වී අධ්‍යයන කටයුතුවල නිරතවීමෙන් උපාධිධාරියකු රටට බිහිවන අතර එම විද්‍යාර්ථින් ලෝකයටම මහත් ධනයකි.
විශ්වවිද්‍යාලයක උපාධි උත්සවයක් යනු සිසුන්ගේ අධ්‍යයන ජීවිතයේ සුවිශේෂී දිනයක් වන අතර වසර ගණනාවක කැපවීමෙන් පසුව ඔවුන් උපාධිය ලබාගනී.
සාම්ප්‍රදායික ශාස්ත්‍රීය පලඳනාවෙන් සැරසී වේදිකාවට නැඟීම සෑම සිසුවකුගේම අභිමතයයි. තම සගයන්, මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ඔවුන්ගේ දුෂ්කර උත්සාහයට සහයෝගය දුන් සැමට තම ජයග්‍රහණය දැක්වීම සිහිනයකි. එය සෑම සිසුවකුගේම ජීවිතයේ ආත්ම අභිමානය ඉහළ නංවන තීරණාත්මක අවස්ථාවක් ද වෙයි.
උපාධි ප්‍රදානෝත්සවය යනු ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යයන විශිෂ්ටත්වය සහ කීර්තිය විදහා දක්වන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ප්‍රකට කරන උත්සවයයි. අධ්‍යාපනය මානව ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රිය සංලක්ෂ බවට සමාජයට ඒත්තු ගන්වන අධ්‍යාපනික සංස්කෘතික උලෙළද උපාධි ප්‍රදානෝත්සවයමය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිහිටුවීම හා භෞතික සම්පත්
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවගේ ආයෝජනයක් වන අතර දැන් එම ආයෝජනය ඵලදායී ප්‍රතිලාභ සමඟ පරිණත වී ඇත. 2004 ඔක්තෝබර් 26 වැනි දින විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය දෙන ලදී. පසුව පැහැදිලි අධීක්ෂණයකින් යුතුව 2005 අගෝස්තු මස මුල් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. ප්‍රධාන දේශන ශාලාව සහ පරිගණක විද්‍යාගාරය 2006 මැයි මාසය වන විට නිම කිරීම විශිෂ්ට ජයග්‍රහණයකි. පරිපාලන ගොඩනැඟිල්ල, සනාථන සභා ගොඩනැඟිල්ල, ආපනශාලා තුනක්, නේවාසිකාගාර හතරක්, වෛද්‍ය මධ්‍යස්ථානය, විද්‍යාගාර, ක්‍රීඩාංගණයක් සහ ව්‍යායාම ශාලාවක්, තාක්ෂණ අධ්‍යයන පීඨ ගොඩනැඟිල්ලක් සහ ශිෂ්‍ය ඉගෙනුම් මධ්‍යස්ථානයක් ආදී ඉදිකිරීම් රාශියක් පසුගිය කාල වකවානුවේ කාර්යක්ෂමව නිම කරන ලදී. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය සහ විශ්වවිද්‍යාලයකට අවශ්‍ය තවත් ගොඩනැඟිලි කීපයක් ඉතා ඉක්මනින් නිම කිරීමට නියමිතය.
සිසුන් බඳවා ගැනීම, උපාධි පාඨමාලා සහ සංවර්ධනය
2006 අධ්‍යයන වැඩසටහන් ආරම්භක වර්ෂයේදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සතුව තිබුණේ පීඨ තුනක් පමණක් වන අතර එම අධ්‍යයන පීඨ යටතේ උපාධි පාඨමාලා පහක් ද ආරම්භ කෙරුණි. මූලිකව සිසුන් 167 දෙනෙකු පමණක් අධ්‍යයන පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා ලදී. මේ වන විට පීඨ හතරක් යටතේ නම් වශයෙන් සත්ව විද්‍යාව සහ අපනයන කෘෂිකර්මාන්තය, කළමනාකරණය, ව්‍යවහාරික විද්‍යාව සහ තාක්ෂණික අධ්‍යාපන පීඨයන්හි සිසුන් 1311දෙනෙකු උපාධි පාඨමාලා පහළොවක් හදාරති.
මානව සම්පත් සංවර්ධනය
සියලු අධ්‍යාපන ආයතන ජාතික වගකීම් සහ ජාතික සංවර්ධනය සඳහා වන කැපවීමෙන් නිදහස් නොවේ. මෙහිලා මානව සම්පත් සංවර්ධනය සුවිශේෂී අංගයකි. සැලසුම් සහගත බව, සංවිධානාත්මක බව කැපවීම සහ සංවර්ධනය මානව සම්පත්හි ගුණාත්මකභාවය වර්ධනය කරයි. ආයතනික අරමුණු සාධනයෙහිලා ඉවහල් වනුයේ එම මානව සම්පත්මය.
මානව සම්පත් සංවර්ධනය සෑම අංශයකම අවධානයට යොමු වී ඇත්තේ එබැවිනි. වඩාත්ම උසස් ශ්‍රම බළකායක් සංවර්ධනය කිරීමට මෙන්ම එමගින් සංවිධානයට සහ සේවකයන්ට ජාතියට සේවය කිරීමේදී වඩාත් ඵලදායී අවස්ථාවක් නිර්මාණය කිරීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන මාවතේ නවමු ඉලක්ක සොයා යන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉහළ ගුණාත්මක බවින් යුත් මානව සම්පත් උකහා ගැනීමටත්, සංවර්ධනයටත් කටයුතු කර ඇත.
අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සංවර්ධනය
2012 වර්ෂයේදී ස්ථිර පරිපාලන කාර්ය මණ්ඩලය 15දෙනෙකු හා අනධ්‍යන කාර්ය මණ්ඩලය 4 දෙනෙකු වූ අතර, 2019 වර්ෂය අවසානය වන විට ස්ථිර පරිපාලන කාර්ය මණ්ඩලය 24දෙනෙකු හා අනධ්‍යන කාර්ය මණ්ඩලය 152 දෙනෙකු අතර ඉතා විශිෂ්ට සේවාවන් සැපයීමෙහි නිරතව සිටී.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය
පර්යේෂණ
සංවර්ධනය යනු හුදෙක් පර්යේෂණයේ ප්‍රතිඵලයකි. පර්යේෂණය යනු මිනිසුන්, දැනුම සහ නව යෙදුම් සැකසීම සඳහා මේ දැනුම භාවිත කිරීම ඇතුළුව දැනුම වැඩි දියුණු කිරීම සඳහා ගනු ලබන නිර්මාණාත්මක හා ක්‍රමානුකූල කාර්යයකි. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය පර්යේෂණ සංස්කෘතිය ඉතා ඵලදායී හා ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ඉහළ තලයක පවතී. නවෝත්පාදනයන් පිළිබඳව හා අඛණ්ඩව නව්‍යතාවන් බිහි කිරීමට මෙන්ම එම නව්‍යතාවන් සමාජ භාවිතාව බවට පත්කරලීමට අවශ්‍ය ක්‍රමවේදයන්ගෙන් ද ආයතනය පරිපූර්ණය.
ආයතනික සංසිද්ධියක් ලෙස නවෝත්පාදනයට දිගු පර්යේෂණ සම්ප්‍රදායක් ඇති අතර විවිධ ක්ෂේත්‍රයන්හි පුළුල් පරාසයක පර්යේෂණ අධ්‍යයන විහිද ඇත. ප්‍රකාශනය යනු එවැනි නව්‍ය තොරතුරු හා සිද්ධාන්ත සමාජගත කිරීමයි. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පර්යේෂණ තීව්‍රතාව සාම්ප්‍රදායික ප්‍රවේශයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. එය විශ්වවිද්‍යාලයීය පර්යේෂණ ප්‍රකාශනවලින් ඉතා පැහැදිලි වේ.
උපාධිධාරී සේවා නියුක්තිය
පසුගිය වසර දහයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය විසින් ඵලදායී ක්‍රියාකාරී ශ්‍රම බළකායක් ජාතියට බිහිකර තිබේ. මේ අතරින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අර්ථ සාධනයට කැප වී ඇති උපාධිධාරීන් සංඛ්‍යාව බොහෝය. ඔවුන්ගෙන් බහුතරයක් ඔවුන්ගේම විෂය ක්ෂේත්‍රයන්ට ඍජුවම අදාළ තනතුරු දරති. සැලකිය යුතු කොටසක් විවිධ හැකියාවන්ගෙන් ජාතික සංවර්ධනයට දායකත්වය සපයයි. මෑත සංගණනයන්ට අනුව විශ්ව විද්‍යාලයීය උපාධිධාරී රැකියා පරාසය සියයට65කට වඩා වැඩි ප්‍රතිශතයකින් යුක්ත වේ.
දසවැනි උපාධි ප්‍රදානෝත්සවය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දහවන උපාධි ප්‍රදානෝත්සවය ඊයේ(10) සහ පෙරේදා (09) දෙදියන්හිදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකචාර්ය ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේ විසින් උපාධිධාරීන් 577 දෙනෙකු විෂයෙහි උපාධි පිරිනැමූහ.
උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම නොවන්නට වත්මන් සාර්ථක කඩඉම් පසුකිරීම විශ්වවිද්‍යාලයට දුෂ්කර වනු නොඅනුමානය. ශාස්ත්‍රීය විශාරදයන්ගේ හා පරිපාලන මෙන්ම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමූහික ප්‍රයත්නය මගින් තවදුරටත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ජාතික අධ්‍යාපනයට අර්ථයන් හා අගයන් එකතු කරන්නට අවස්ථාව උදාවේවායි ප්‍රාර්ථනා කර සිටිමු.
ආචාර්ය
කේ. එම්. ආර්. කේ. කුලතුංග
ජ්‍යෙෂ්ඨ සහාකාර පුස්තකාලයාධිපතිනී
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය


