Friday, July 24, 2026
Homeදේශීයමොන්ටිසෝරි ටීචර් දරුවන්ගේ පංචායුධ ටික සුද්ද කරළා

මොන්ටිසෝරි ටීචර් දරුවන්ගේ පංචායුධ ටික සුද්ද කරළා

දේවාලේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙර පාසලක දරුවන් අට දෙනෙකුගේ ගෙලබැදි රන් පංචායුධ 8ක් හා රන් කරාබු ජෝඩුවක් ගලවාගෙන ඇතැයි කියන අදාල පෙර පාසලේ පාලිකාවන් දෙදෙනෙක් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පෙරේදා 25 වැනිදා නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසලක සේවය කරන පාලිකාවන් දෙදෙනෙකු බව පොලිසිය පැවසීය.

දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසලක දරුවන්ගේ ගෙලබැදි පංචායුධ කිහිපයක් ඉකුත් කාලය තුළදී අතුරුදන්ව ඇති බවත් පංචායුධ පෙර පාසල් භූමියේ වැටී ඇද්දැයි පරීක්ෂා කර බලන ලෙසත් දරුවන්ගේ මව්පියන් පිරිසක් පෙර පාසලේ ප්‍රධාන පාලිකාවට දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.පංචායුධ සම්බන්ධයෙන් තොරතුරක් නොමැති අවස්ථාවේ දී පෙර පාසලේ ප්‍රධාන පාලිකාව සිද්ධිය සම්බන්ධයෙන් දේවාලේගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ලට අනුව දේවාලේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂිකා සෙව්වන්දි නිලධාරිනිය ඇතුළු කණ්ඩායමක් අධාල පෙර පාසලට ගොස් ප්‍රධාන පාලිකා⁣ව ඇතුළු සෙසු පාලිකාවන් පස් දෙනාගෙන්ද දරුවන්ගෙන්ද ඒ සම්බන්ධයෙන් විමසීමක් ද කර තිබේ. එහිදී දරුවන් පොලිසියට කියා ඇත්තේ කතුරු වලින් ගෙලබැදි පංචායුධ ගුරු මහත්මියන් දෙදෙනෙකු විසින් කපා ගත් බවත් කරාබු ජෝඩුව ද ගලවා ගත් බවත් පවසා ඇති බව පොලිසිය පැවසීය. පසුව පොලිසිය පෙර පාසල් පාලිකාවන් දෙදෙනා හදුනාගෙන ඔවුන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත පංචායුධ කපා ගත් බවත් ඒවා උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර මුදල් ලබා ගත් බවත් පවසා තිබේ.පසුව පොලිසිය අධාල උකස් මධ්‍යස්ථාන වෙත ගොස් පංචායුධ හා කරාබු ජෝඩුව පොලිස් භාරයට ගෙන තිබේ.

පැමිණිල්ලට අනුව අදාල පෙර පාසලේ පාලිකාවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත පෙරේදා 25 වැනිදා ඉදිරිපත් කෙරිණ.එහිදී මහේස්ත්‍රාත්වරිය සැකකාරියන් දෙදෙනා අප්‍රේල් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.අතුරුදන්ව අති රන් පංචායුධ අටෙහි හා රන් කරාබු ජෝඩුවේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ බවත් පොලිසිය පැවසීය.

READ:   Mojo Lanka (Mobile journalism) උළෙල ඇරඹේ..

දේවාලේගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගන රුවන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර උප පොලිස් පරීක්ෂකවරුන් වන චන්ද්‍රපාල,සෙනරත් බණ්ඩාර ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී කාන්තා උප පොලිස් පරීක්ෂිකා සෙව්වන්දි,පොලිස් සැරයන් කීරගල (33118) විමර්ශන කටයුතු සිදු කෙරිණ.

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්,සබරගමුව සමූහ ගාමිණී රම්‍යපාල

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්