රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) කොළඹ රාජකීය විද්යාලයේ පැවති උත්සවයක් අමතමින්.
රට ආර්ථික දේශපාලන වශයෙන් විශාල ගැටළුකාරි තත්වයක තිබියදී වුවද තමා රට භාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට බව ජනාධිපති ප්‍රකාශ කළා.
සංවර්ධිත රටක් කරා යන ගමනට තරුණයින් සහභාගි කර ගැනීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ නියෝජිතයින් පත් කිරීමට යෝජනා කර ඇති බව සඳහන් කළා.
2023 ට යෙදෙන 75 වන නිදහස් සැමරුමට සමගාමීව තරුණයින් වෙනුවෙන් ” ජාතික තරුණ වේදිකාවක් ” නිර්මාණය කර ඇති බව ජනාධිපතිවරයා පැවසුවා. දියුණු ආර්ථිකයක් කරා යන ගමනට අත්වැලක් වන අයුරින් පැවැත්විය යුතු තරුණ වේදිකාවට සහභාගී වන ලෙස ජනාධිපතිවරයා තරුණ පරපුරට ආරාධනා කර සිටියා.
අප තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් අවුරුදු 25 ක ඉදිරිය ගැන සිතා බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.







