ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (30) මුදල් අමාත්යාංශයේදී පැවැත්විණි.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ශ්රී ලංකාවේ ගෞරවනීය කොන්සල් Aydin Ozu මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා හා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.
විශේෂයෙන්ම ශ්රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, සෞඛ්ය, කර්මාන්ත, ඛනිජ සම්පත් සහ ඛනිජ තෙල් යන ක්ෂේත්රවල දෙරට අතර ඇති කරගත හැකි ආයෝජන සහ සහයෝගීතා අවස්ථා පිළිබඳව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.
වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ප්රසාදය පළ කළ තුර්කියේ ශ්රී ලංකා ගෞරවනීය කොන්සල්වරයා, ශ්රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සඳහා තුර්කි ආයෝජකයන් යොමු කිරීමට මැදිහත්ව කටයුතු කරන බව සඳහන් කළේය. මේ වන විටත් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තුර්කි ආයෝජකයන් තුළ ඉහළ උනන්දුවක් සහ විභවයක් පවතින බව ද ඔහු අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ රජය පවත්වාගෙන යන මූල්ය විනය සහ විනිවිදභාවය හේතුවෙන් ජාත්යන්තර ආයෝජකයන් ශ්රී ලංකාවේ ආයෝජන කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන බවයි.
එමෙන්ම, ශ්රී ලංකාවේ මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන කටයුතුවලදී මතුව ඇති තාර හිඟය පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
ඒ සම්බන්ධයෙන් තුර්කියේ ශ්රී ලංකා ගෞරවනීය කොන්සල්වරයා සාධනීය ප්රතිචාරයක් දැක්වූ අතර, ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ හමුවක් පැවැත්වීමට ද දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ. -news.lk


