සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස්
2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ විත්තිකරුවන් 24 දෙනා අතරින් 15 දෙනෙකු වරදකරුවන් බවට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) තීන්දු කළේය.
ඒ අනුව, නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් බව අධිකරණය තීන්දු කර තිබේ.
නඩුවට අදාළව චෝදනා එල්ල වී සිටි සෙසු විත්තිකරුවන් 9 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල Trial-at-Bar විනිසුරු මඩුල්ලක් විසිනි. එම මඩුල්ලට විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රමනාතන් කන්නන් සහ සූජීව නිශ්ශංක ඇතුළත් වේ.
පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270ක් යටතේ මෙම නඩුව පවරා තිබිණි. නඩුවේදී නඩු විභාගය වසර පහකට ආසන්න කාලයක් පැවති අතර, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරවලට අදාළව කොළඹ, මීගමුව සහ මඩකලපුව ඇතුළු ප්‍රදේශවල පිහිටි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.
අද ප්‍රකාශයට පත් කළ තීන්දුව අනුව වරදකරුවන් ලෙස තීන්දු කළ විත්තිකරුවන් සඳහා දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් නඩුව නැවත කැඳවීමට නියමිතය.


