දේශීය

ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සේවාවන්ට දැවැන්ත තාක්ෂණික අත්වැලක්:මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් රෝහල් පද්ධතියට.

කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්.

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පුළුල් වැඩසටහනක් සම්පාදනය කර ඇත. රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

එම වැඩසටහන තුළ දිවයින පුරා රෝහල්වල සීටී (Computed Tomography) ස්කෑනර් සේවා පුළුල් කිරීම හා නවීකරණය කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වයක් ලබාදී ඇති අතර, ඒ අනුව අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රෝහල්වලට නවීන තාක්ෂණික සීටී ස්කෑනර් යන්ත්‍ර ලබාදීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකව පවතී.

ඒ යටතේ කළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුත් 128 – ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160 ක වටිනාකමකින් යුත් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව මඟින් මේ වනවිටත් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640 ක පමණ වටිනාකමකින් යුත් නවීනතම CT ස්කෑනර් හතරක් ද දැනටමත් ලබාදී ඇති අතර, ඒවායේ ස්ථාපන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත, මන්නාරම යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950 ක වටිනාකමකින් යුත් අතිනවින සීටී ස්කෑනර් මිලදි ගැනිම සඳහා දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

දීර්ඝ කාලයක් පුරා බොහෝ රජයේ රෝහල්වල රෝග විනිශ්චය සඳහා යොදා ගැනුණේ 16-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර වේ. එම යන්ත්‍ර රෝගීන්ට ප්‍රයෝජනවත් සේවාවක් සපයා තිබුණ ද, වර්තමාන වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉතා කෙටි වේලාවක් තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප සහ වඩා නිවැරදි රෝග විනිශ්චයන් ලබාගත හැකි 64-ස්ලයිස් සහ 128-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍යතාවය මෙරට රෝහල් පද්ධතියට දැඩි ලෙස අවශ්‍යව තිබුණි.

මෙම අවශ්‍යතාව හඳුනා ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දිවයිනේ රෝහල් සඳහා නවීන සීටී ස්කෑනර් ලබාදීමේ පුළුල් වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව අළුතින්ම සපයන ලබන මෙම අධි තාක්ෂණික පද්ධති මගින් ආඝාත, හදිසි අනතුරු, පිළිකා, හෘද හා රුධිර නාල රෝග මෙන්ම හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර සේවාවන්හිදී ඉතා කෙටි වේලාවක් තුළ වඩාත් නිවැරදි රෝග විනිශ්ච්‍යයන් ලබාගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව උදාවෙනු ඇත.

මෙම වැඩසටහනේ සුවිශේෂත්වය වනුයේ එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට පමණක් සීමා නොවී පළාත් සභා රෝහල් ද ආවරණය කිරීමයි. එමඟින් දුරබැහැර ප්‍රදේශවල ජනතාවට ද ප්‍රධාන නගරවලට පමණක් සීමා වී තිබූ උසස් රෝග විනිශ්චය පහසුකම් ප්‍රාදේශීයව ද ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙම ආයෝජන හුදෙක් නව උපකරණ මිලදී ගැනීමකට පමණක් සීමා නොවන අතර, එය ජනතාවට කඩිනම් රෝග විනිශ්චය, ප්‍රතිකාර ප්‍රමාදයන් අවම කිරීම, වෛද්‍ය තීරණ ගැනීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජීවිත රැක ගැනීම අරමුණු කරගත් පුළුල් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයක වැඩසටහනේ එක් අදියරක් පමණි.

මෙරට තුළ තුළ ඉහළයමින් පවතින බෝ නොවන රෝග, මාර්ග අනතුරු සහ වයස්ගත ජනගහනය ඉහළයාම තුළින් මතුවන අභියෝගවලට මුහුණ දීමට ද මෙම නවීන සීටී ස්කැනර් සේවා ජාලය පුළුල් කිරිම තුළින් ඉතා වැදගත් දායකත්වයක් ලැබෙනු ඇත.

:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Recent Posts

Ministry of Industry and Entrepreneurship Development Issues Special Media Clarification

The Ministry of Industry and Entrepreneurship Development has issued a special media clarification in response…

11 hours ago

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය පැහැදිලි කිරීමයි

​පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී, වගා…

11 hours ago

”අකුරට වැඩකිරීමක් යන වෙලාවක ඒක නතර කරලා ඒ වැඩේට බැස්සා”‘-කොටගල ප්‍රදේශයේ මද්දකට හසුවූ කොටිය

මිනිසා සේම සතා සිව්පාවාද රැක ගැනීම රජයේ යුතුකම බවත් පනතට වඩා මහජනතාවට දැනෙන දේ කතා…

12 hours ago

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

බොරැල්ල, අගෝස්තු 07 – බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ සිරකරුවන් 40 දෙනෙකු පමණ සම්බන්ධ…

20 hours ago

තවත් චීන පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර ඉල්ලයි

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…

2 days ago