විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයාව සිටිය දී ජනාධිපති කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද කටයුතු කරමින් 2022 වසරේ දී ජනපති වැය ශිර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජූලි 1 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (18) නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ මධ්‍යම විමර්ශන කාර්යාංශය මාලබේ, තුන්අඳහේෙන් පදිංචිකරුවෙක් වූ 42 හැවිරිදි සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පෙරවරුවේදීය.
මේ පත්වීම් ලබාදුන් ආකාරය සහ මුදල් බැර වූ අයවලුන්ගේ ගිණුම්වලට අදාළ විස්තර සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට දැනුම් දුන්නේය.
සැකකරු ඊයේ පෙරවරුවේ IMF නිලධාරීන් හා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් අතර පැවැති හමුවකින් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර වාර්තාවක් මඟින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියා සිටියේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධි කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාව වන අතර සැකකරු ඉදිරිපත් කරමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙසේ කියා සිටියේය.
“ස්වාමීනී, හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් සහ 8 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් රජයේ වැටුප් දෙකක් ලබාගෙන ජනාධිපති වැය ශීර්ෂයෙන් රුපියල් 204976291.00ක මුදලක් අවභාවිත කර තිබෙනවා. 2022 ජූලි මස 14 සිට 2004 පෙබරවාරි 21 දක්වා විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් වැටුප රුපියල් ලක්ෂයක මුදලක් මාසිකව සහ 2022 ජූලි මස 25 සිට 2024 සැප්තැම්බර් මස 24 දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස වැටුප් ලබා ගැනීමට අදාළ පත්වීම් ලිපි සහ වැටුප් ලේඛන ඉදිරිපත් කරමින් හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් සහ 8 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් රජයේ වැටුප් දෙකක් ලබාගෙන ජනාධිපති වැය ශීර්ෂයෙන් රුපියල් 204976291.00ක මුදලක් අවභාවිත කර තිබෙන බවට විමර්ශන අනාවරණය කර තිබෙනවා.”
“විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ හතළිස් දෙකකට අධික මුදලක් ද අවභාවිත කර තිබෙනවා. එසේම විශේෂ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි විස්සකට අධික මුදලක් වැය කර තිබෙනවා. සැකකරු පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදවල් සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 400 සහ 403 යටතේ වරදවල් සිදු කර ඇති බව අධිකරණයට දන්වා සිටියා සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශනයට බාධා වන බව කී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සැකකරු ඉදිරි නඩු දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඉල්ලා සිටිනවා.”
සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ඇතුළු නීතිඥ මඬුල්ල කියා සිටියේ සැකකරු සාකච්ඡාවකට සහභාගි වී යමින් සිටිය දී පාර අවහිර කර ඉතාමත් අශෝභන ආකාරයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. එසේම මෙය සංවිධානාත්මක ලෙස සිදු කළ අත්අඩංගුවට ගැනීමක් බවත් සැකකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නැති බවත් කීවේය.
“සැකකරුට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් කරලත් නැහැ. පාර මැද වාහනය නවත්තලා අත්අඩංගුවට ගෙන තියෙන්නේ. මට හරි පුදුමයි මේ අත්අඩංගුවට ගැනීම ගැන. විශ්‍රාමික ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළද විශ්‍රාමික ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් හෝ අරගෙන නැහැ රාජ්‍ය පත්වීමකුත් නෙවෙයි විශ්‍රාමික ජනාධිපතිවරයාට යන පුද්ගලික වැය ශිර්ෂ්‍යයේ මුදල් ගත් බවටයි ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. විශ්‍රාම ගිය ජනාධිපතිවරයකුගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් යම් සැලැස්මක් සකස් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට එය ලබා දෙනවා” යැයි ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජීවන්ත ජයතිලක මහතා කියා සිටියේය.
“එම වාර්තාවේ නම සඳහන් වුවද තම සේවාදායකයා එම මුදල් ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කරලත් නැහැ. ඔහුට කිසිම දීමනාවක් හිමිවී නෑ. මෙම මුදල් ගිහිල්ලා තිබෙන්නේ හිටපු ජනාධිපතිවරණයාගේ පුද්ගලික ගිණුමට. ඔහු එම දීමනාව අවශ්‍ය නැති බවට ලිපියක්ද ඉදිරිපත් කර තිබෙනවා. මුදල් හිටපු ජනාධිපතිවරයාගේ ගිණුමට ගිය පසු එම මුදල් පුද්ගලික මුදල්. රජය මුදල් බවට ප්‍රකාශ කරන්නට බැහැ . අත්අඩංගුවට ගැනීමට පෙර මේ බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් හෝ ගෙන නැහැ. මගේ සේවාදායකයාගේ ගිණුමට මුදල් බැර වෙලත් නෑ. එම කරුණු අනාවරණය වූවානම් පමණයි ඔහු අත්අඩංගුවට ගත හැකි වන්නේ. මුදල් ගිණුමට ගියාට මේ සැකකරුට අදාළතාවයක් නෑ. පත්වීම කර තිබෙන්නේ නීත්‍යනුකූලවයි. මොහු කර තිබෙන වරද සම්බන්ධයෙන් සාක්ෂි මොනවාද තියෙන්නේ රජය රවටලා ඔහු මුදල් අරන් නෑ. වංචනික චේතනාව සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඔහුගේ ගිණුමට කිසිදු මුදලක් වැටිලා නෑ. විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කර තිබෙන්නෙත් රජයෙන්. ඔහු ඉල්ලන් ගිහිල්ල පත්වීම අරගෙන නෑ . මගේ සේවා දායකයා මෙම නඩුවෙන් නිදහස් කරන්න. එසේ නැත්නම් සුදුසු ඇපයක් මත මුදාහරින්න” යැයි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇපදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නැති බවත් පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදකට ඇපදිය නොහැකි බවත් කියමින් සැකකරු ලබන ජූලි මස පළමු වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
එදිනට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.
පැමිනිල්ල වෙනුවෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රාජිත, උප පොලිස් පරීක්ෂක රශ්මීර, පොලිස් සැරයන් 5525 කපුගේ, 67137 ශිරාන්, 90922 කවුෂාන් යන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වූහ.
සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක, චරිත ගුණරත්න, ගමිහාන ජාගොඩආරච්චි, ප්‍රේමනාත් දොලවත්ත, කුමාර් දුනුසිංහ, උදය ගමම්මන්පිල, දයාසිරි ජයසේකර සහ නිමල් සිරිපාල ද සිල්වා යන නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. සුගීෂ්වර බණ්ඩාර මහතා මෙම තනතුරු දරමින් සිටිය දී රජයේ වාහන අවභාවිත කිරිමක් හා එහි සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන සිදුකරනු ලබයි.
සුභාෂිණී සේනානායක
:උපුටාගැනීම – දිනමිණ


