නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මගින් දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම අද (29) දිනයෙන් පසු ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව පවසනවා.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවට අනුමාන කරනවා.
ඒ අනුව අද දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවෙයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


