Saturday, April 18, 2026
Homeදේශීයපාරවල් හදන්න ගත්තු ණය ගෙවන්න අවුරුදු 160ක් ගතවෙනවා - බන්දුල

පාරවල් හදන්න ගත්තු ණය ගෙවන්න අවුරුදු 160ක් ගතවෙනවා – බන්දුල

ශ්‍රී ලංකාවේ අධි­වේගී මාර්ග තනා, පව­ත්වා­ගෙන යෑමේ විය­දම් දරා වස­ර­කට බිලි­යන පහක් ලැබු­වත්, ගෙවී­මට ඇති ණය ප්‍රමා­ණය  රු. බිලි­යන 800ක් බැවින්, දැනට ඇති මාර්ග සඳහා ගෙන ඇති ණය, පොලිය සමඟ ගෙවා නිම­කි­රීම සඳහා වසර 160කට වැඩි කාල­යක් ගත­වෙ­නවා. බදු­ ගෙ­වන ජන­තාව මත මේ බර පැට­විය නොහැකියි. එම නිසා  අධි­වේගී මාර්ග සිය­ල්ලත් ඒවායේ වත්කම් 100%ක් රජය සතු සමා­ග­මක් වන සහ­න්‍යා ඉන්වෙ­ස්ට්මන්ට් සමා­ග­මට පව­රා­දී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කර තිබෙනවා.” අදාළ අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කිරී­මේ අවස්ථාවේදී ප්‍රවා­හන, මහා­මාර්ග සහ ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

file

මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 28කට වඩා පලපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු කේ. ඩබ්. කණ්ඩම්බි මහතා වෙත එම පත්වීමට අදාළ ලිපිය ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් භාර දෙනු ලැබීය.

file

මීට සමගාමීව සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ පළපුරුදු නිලධාරීණියක වන පී. ආර්. බී. සුමංගලී මහත්මිය පත්කර තිබෙනවා.මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් ඉදිරියේදී සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම යටතට පත් කෙරෙනු ඇති.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය අතර මේ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද මේ අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

” මෙතෙක් කල් අධිවේගී මාර්ග සහ පොදු මාර්ග පද්ධතිය ඉදිකිරීම, නඩත්තු කිරීම, සංවර්ධනය කිරීම, සහ පවත්වාගෙන යෑම සිදු කළේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින්. නමුත් අධිවේගී මාර්ග සහ අනෙකුත් මාර්ග පද්ධතිය එකට පැවතීම “යා දෙක නොරත රත එකට පෑහීමක් නැත” යන තත්ත්වයට සමාන වේ. A සහ B ශ්‍රේණියේ මහා මාර්ග මහජන බදු මුදලින් ඉදිකර නඩත්තු කරන පොදු භාණ්ඩ ගණයේ ලා සැලකේ. එම නිසා එම මාර්ග භාවිතා කරන්නේ කවුද නැද්ද යන්න පහසුවෙන් වෙන්කර හඳුනාගත නොහැකියි. ඒ හේතුවෙන්ම ඊට මිලක් අය කළ නොහැකියි. රටේ පොදු මහජනතාව බදු ගෙවනු ලබන්නේ එවැනි මාර්ග තැනීම සඳහායි.

READ:   පුද්ගලයෙක් දුම්රියක ගැටෙයි

නමුත් අධිවේගී මාර්ග පොදු භාණ්ඩයක් ලෙස නොසැලකේ. එය භාවිතා කරන පිරිස් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව පවතී.එම පිරිස් හඳුනා ගනිමින් ඒ සඳහා මිලක් අය කරනු ලැබේ. මෙය වානිජ කටයුත්තක් ලෙස වෙන්කර ගත යුතුයි. එසේ නොවුවහොත් විශාල වශයෙන් ණය ලබා ගනිමින් ඉදිකළ මෙම මාර්ග සඳහා පොදු ජනතාවගේ බදු වලින් ගෙවීම් සිදුකිරීමට සිදුවනවා.

file

වාණිජ ව්‍යවසායයක් ලෙස අධිවේගී මාර්ග පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා 100%ක් රජයේ අයිතිය සහිත කඩිනම් ක්ෂණික තීරණ ගත හැකි, වඩා හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් ඇති, විශේෂඥ දැනුමක් සහිත අධ්‍යක්ෂක මණ්ඩලයක් අධිවේගී මාර්ග පද්ධතිය පාලනය කරනු ලබනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයායි. ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙක්. මූල්‍ය මෙහෙයුම් භාරව කටයුතු කරන්නේ ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරිනියක්. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්.

file

අධිවේගී මාර්ග තැනීමට ලබාගත් නොපියවූ විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 800ක්. වාර්ෂිකව ලබන ලාභය රුපියල් බිලියන පහක්. මෙලෙස දිගින් දිගටම රුපියල් බිලියන පහක් බැගින් ලාභ ලැබුවත් මෙම ණය ප්‍රමාණය ගෙවීම සඳහා වසර 160ක් ගත වෙනවා. අද දින උපදින අයෙකු වසර අසූවක් ජීවත් වුවත් තවත් ජීවිත කාලයක් ඉපදී මිය යනතුරුත් මේ ණය මුදල ගෙවීමට සිදුවනවා. එම නිසා විෂය භාර අමාත්‍යවරයා ලෙස වසර එකහමාරකට පෙර මෙම අමාත්‍යංශයේ වැඩ භාරගත් අවස්ථාවේ සිට අධිවේගී මාර්ග පද්ධතිය කාර්යක්ෂම ඵලදායි බවට පත් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් කළා. විද්‍යුත් ටිකට් පත්‍ර ක්‍රමයක් ඇති කිරීම, ස්වයංක්‍රීය ගේට්ටු පද්ධතියක් ඇති කිරීම, පෞද්ගලික අංශයේ ආයෝජනයන්ට ඉඩ ලබාදෙමින් සේවා මධ්‍යස්ථාන ඇති කිරීම, අධිවේගී මාර්ග දෙපස සූර්යබල ව්‍යාපෘති ස්ථාපනය කිරීම, ඉඩම් ඵලදායි නිෂ්පාදන සඳහා බද්දට ලබාදීම ඇතුළු යෝජනා රැසක් එලෙස ඉදිරිපත් කළත් මේ වනතෙක් ඒ කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක වී නැහැ.

READ:   හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සරුංගල් යවන්නෙපා! විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්
file

යෝජන ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර, නිරීක්ෂණ ලබා ගනිමින්, කමිටු, අනුකමිටු පිහිටුවෙමින් කාලය ගතවනවා මිස අවශ්‍ය කාර්යභාරය ඉටුවන බවක් පෙනී යන්නේ නැහැ. විශාල ණය බරක් සහිතව ක්‍රියාත්මක ආයතන මේ ආකාරයෙන් ගොඩ ගැනීමට හැකියාවක් නැහැ. එම නිසා අතිශය නවීන ශිල්ප ක්‍රම හා ව්‍යවසාය උපාය මාර්ග යටතේ කටයුතු කරමින් සහස්යා ඉන්නෙස්මන්ට් සමාගම රටට නව අගයක් එකතු කරන රාජ්‍ය ව්‍යවසායක් බවට පත්වනු ඇති බව අප විශ්වාස කරනවා.”

ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්