Friday, April 17, 2026
Homeදේශීයවිප්ලවයකින් තොරව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ගැන ජනපති කියයි.

විප්ලවයකින් තොරව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ගැන ජනපති කියයි.

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

වත්මන් ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20ක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවත් පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට අද (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින්.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එමඅයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අය වැය යෝජනා අතර 08 වන යෝජනාව වූයේ උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව මෙරට ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉටු කරමින් තමා භුක්තිවිදින ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙවැනි ගොවි පවුල් ලක්ෂ 20ක ප්‍රමාණයක් අපේක්ෂිත ප්‍රතිලාභීන් ලෙස හදුනාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2024 අය වැය යෝජනා යටතේ උරුමය රුපියල් බිලියන 02ක් වෙන් කර තිබෙනවා.

READ:   සෙල්ලකතරගම භූ කම්පනයක්..

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබෙනවා.

සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු කෙරුණා.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්