ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී තිබෙනවා.
ඒ ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී.
පසුගිය නොවැම්බර් 06 වෙනි දින ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් කටයුතු කරනවා.
එහි ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් මහත්මිය කටයුතු කළ අතර අදාළ පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට පියවර ගෙන තිබුණේ.
ඒ අනුව:
1. ශ්‍රී ලංකා ක්‍රිකට්හි සංයුතිය හා ව්‍යුහය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා.
2. ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, 19 න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම සඳහා වන රාමුව.
3. ටෙස්ට් ක්‍රීඩාවේ නියුතු රටවල මනා ලෙස ක්‍රියාත්මක වන සංසන්දනාත්මක පද්ධති සමඟ පද්ධති මිණුම් සළකුණු කිරීමේදී විනිවදභාවය, වෘත්තීයභාවය සහ වගවීම සහතික කිරීම පිණිස අනුගමනය කළ හැකි සුදුසු යහපාලනය සහ යහ භාවිතයන්.
4. කුසලතාව, සමානාත්මතාව සහ සාධාරණතාව වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පෝෂණ ව්‍යුහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම.
යන ක්ෂේත්‍ර හතර කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.


