දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල වන Orbit by Citrus, කොළඹ නෙළුම් කුළුණේ දී විවෘත කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (06) නෙළුම් කුළුණේ දී පැවැත්වුණා.
මේ අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු අවන්හල් කළමණාකාරීත්වය නියෝජනය කරමින් එහි නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගීව සිටියා.
එළඹෙන සෙනසුරාදා (09) මෙම අවන්හල නෙළුම් කුළුණේ දී විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක් වූ අමාත්‍ය දිලුම් අමුණුගම..
“සුදු අලියෙක් විදියට හංවඩු ගහපු මේ ව්‍යාපෘතිය අද වන විට (මාස 15ක් තුළ) ලාබ ලබන සහ මහාභාණ්ඩාගාරයට මුදල් ලබා දෙන ආයතනයක් බවට පත්කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලන දේශීය සමාගම් තුනක් මීටර් 195 ක උසකින් යුත් abseiling, bungee jumping හා paragliding වගේ ක්‍රීඩාවන් හරහා අපේ බහුතරයක් ජනතාව මෙතෙක් අත්නොවිඳි නවමු අත්දැකීම් රැසක් ලබාදෙන්න සූදානමින් ඉන්නවා.”


