සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව අද (21) පෙරවරුවේ සිදුව තිබෙනවා.
සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්වික සාකච්ඡා සඳහා එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමුව ඇති අතර ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවලට අදාළව ඉදිරියේ දී සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර සිංගප්පූරු ජනාධිපතිනිය සිය ෆේස් බුක් පිටුවේ මෙලෙස සටහනක් තබා ඇති බව වාර්තා වෙනවා.
“අපගේ මිත්‍රත්වයේ ශක්තිමත් බව රඳා පවතින්නේ පුද්ගල සබඳතා මතය. එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතී. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු චාරිකාව ඵලදායී මෙන්ම සාර්ථක සංචාරයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි”
මේ අතර සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය ආචාර්ය නෙං එං හෙන් (Ng Eng Hen) මහතා ද අද (21) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ජනාධිපති මධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

එසේම දකුණු ආසියානු කලාපයේ පොදු ගැටලු නිරාකණය කර ගැනීම වෙනුවෙන් නිරන්තරව තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ නිසි සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කර ඇති අතර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් එක්ව කැපවීමට ද දෙපාර්ශ්වයම සහතික වී තිබෙනවා.


