බෙදුම්වාදි ත්‍රස්තවාදය ශ්‍රී ලංකාද්වීපයෙන් මුලිනුපුටා දැමීමේ අධිෂ්ඨානය පෙරදැරිව එහි මුලික පියවර වශයෙන් යාපනය නගරය සම්පුර්ණයෙන්ම මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුම සඳහා සැලසුම් සකස් කර ඊට අදාලව නිරීක්ෂණ කටයුත්තක් සඳහා ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්ආර් ස්ටෙපන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිතන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලීන් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්.ජේ. වික්‍රමසිංහ , 1992 අගෝස්තු 08 වැනිදා ජීවිතක්ෂයට පත්වූහ.ඒ ලක්මව දැඩි කම්පාවකට පත්කරමිනි. එලෙස රට වෙනුවෙන් දිවි පිදූ මේජර් ජෙනරාල් විජය විමලරත්න යුද්ධ හමුදාවේ සුවිශේෂී කැපී පෙණෙන රණකාමියෙක් විය.

දකුණු ලක මාතර තළල්ලෙහි වනිගමුණි පීටර් මෙන්ඩිස් විමලරත්න මහතාගේ සහ බේරුවල මුල්ලපිටියේ සාලින් කුමාරසේකර මැතිනියගේ දයාබර පුත් වනිගමුණි ඉන්ද්‍රජිත් විජයකුමාර මෙන්ඩිස් විමලරත්න 1940 අගෝස්තු මස 25 වන දින කොළඹ සොයිසා රෝහලේදී උපත ලබන්නේ පිරිමි දරුවන් නව දෙනෙකුගෙන් සමන්විත වු එම පවුලේ දෙවන දරුවා ලෙසිනි.
1945 වසරේ කොළඔ රාජකීය විද්‍යාලය වෙත ඇතුළත් වන විජය කුමාර විමලරත්න අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම, බාහිර ක්‍රියාකාරකම්වලදී ද ගුරුවරුන්ගේ ආදරය දිනා ගනිමින් කැපීපෙනෙන දක්‍ෂතා දැක්වු අයෙකි.
අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලදී කැපී පෙනෙන දක්‍ෂතා දැක්වු ආදි රාජකීයකු වූ මේජර් ජෙනරල් විජය විමලරත්න අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කර 1961 ඔක්තෝබර් මස 21 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බළසේනාවේ කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් එක් ව ඉන්දියාවේ ඩෙහෙරඩුන් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවැත්වෙන කෙඩෙට් නිළධාරි පාඨමාලාව හැදෑරීමට ශ්‍රි ලංකාවෙන් පළමු කණ්ඩායම ලෙස තෝරාගත් සිව්දෙනා අතරට එක්වීමට වාසානාවන්ත විය.

සාර්ථක පුහුණුවකින් පසු නැවත මව් රටට පැමිණි මෙම තරුණ නිලධාරි 1963 අගෝස්තු මස 01 වන දින දෙවැනි ලුතිතන් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඇතුළත් විය. මෙම නිලධාරි තුළ තිබු පරිපාලන හැකියාව සහ හමුදාමය කටයුතු පිළිබඳ නිපුනතාවය නිසා අභිනවයෙන් නගා සිටුවන ලද ගැමුණුහේවා බළඇණිය වෙත 1969 නොවැම්බර් මස 02 වන දින ආරම්භක සාමාජිකයෙකු ලෙස ඇතුලත්ව ගැමුණුහේවා 2 වන (ස්වේච්ඡා) බළඇණියෙහි විධායක අධිකාරී තනතුරට පත් කරනු ලැබීය.
සිය යුද හමුදා දිවියේ තවත් කඩඉමක් පසුකල මේජර් විමලරත්න 1982 වසරේ පළවන විජයබාහු පාබළ රෙජිමේන්තුව වෙත ඇතුලත්ව පළමුවන බලඇණියේ අණදෙන නිලධාරි තනතුරට පත් වූ අතර, 1982 ජුලි මාසයේදි ලුතිතන් කර්නල් නිලයට උසස්වීම් ලැබීය. පළවන විජයබාහු පාබළ බළඇණියට අණදෙමින් නිවැරදි මාවතෙහි සිය භටපිරිස් පෙළ ගස්වමින් සිටියදී එම බළඇණිය විසුරුවා හැර පළවන විජයබාහු පාබළ රෙජිමේන්තුව සමග ඒකාබද්ධකර බිහිවූ පළමුවන ගජබා රෙජිමේන්තුවට අණදීමේ භාරදුර කාර්යය සඳහා ලුතිතන් කර්නල් විජය විමලරත්න යුද්ධ හමුදා මුලස්ථානය විසින් පත්කරනු ලැබුයේ ඔහු තුල පැවැති අද්විතීය රණකාමීත්වය ඇගයීමක් වශයෙනි.

මෙම සෙන්පතිදුන්ගේ දුරදර්ශි අඩිතාලම මතින් ගොඩනැංවී “සමගිය ශක්තියයි” යන තේමා පාඨය පෙරදැරිව වර්තමානය වන විට යුද්ධ හමුදාව තුල විශිෂ්ඨත්වයෙන් පෙරමුණට පත් යුධ නිපුනත්වයෙන් අද්විතීය ගජබා රෙජිමේන්තුව බිහිවුයේ එම නිලධාරි තුල තිබු සුවිශේෂී හැකියාවන් හේතුකොටගෙනය.
1984 වසරේ යාපනය අර්ධද්වීපයේ රාජකාරීන් සඳහා තම බළඇණිය සමග පැමිණි ලුතිතන් කර්නල් විජය විමලරත්න තම යුද උපක්‍රමයන් හා සැළසුම් මගින් මුළු යාපනය අර්ධද්වීපයේ පමණක් නොව කිලිනොච්ච්ය, මාන්කුලම්, කොකාවිල්, පුනරීන් ආදී සියළු ප්‍රදේශවල යුද හමුදාවේ අණසක පතුරුවමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවම කිරීමට සමත් විය. පාබළ රෙජිමේන්තුවක සෙබළුන් හට සංග්‍රාමික නිළ ඇඳුම් පැළඳීමේ අවස්ථාව උදාකර එය ප්‍රථම වරට ගජබා රෙජිමේන්තුව වෙත හිමිකර දීමට අණදෙන නිලධාරි වශයෙන් ඔහුට හැකියාව ලැබුණි.
ඒකක අණදෙන නිලධාරි තනතුරට අමතරව උතුරු මැද ආඥා පෙදෙස් මුලස්ථානයේ වැඩ බලන ආඥාපති තනතුරට 1985 වසරේදී පත් වූ ලුතිතන් කර්නල් විජය විමලරත්න මැදවච්චිය හා තත්තිරිමලේ වැනි ත්‍රස්තවාදී තර්ජිත ගම්මාන ආරක්‍ෂාව සඳහා විශේෂ අවධානයක් යොමුකරමින් එම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරලීම සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කරවන ලදි.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා යුධෝපාය මාර්ග විනාශ කිරීම සඳහා තම බළඇණියෙන් 300 කින් සමන්විත භටපිරිසක් තෝරා ගනිමින් ඔවුන්ට තම අධීක්‍ෂණය හා සැළසුම් අනුව විශේෂ ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලාව යටතේ පුහුණුව ලබාදීමෙන් පසු උතුරු නැගෙනහිර වනගත ප්‍රදේශයන්හි රාජකාරී සඳහා යෙදෙමින් එමගින් සාර්ථක ප්‍රථිපල ලබාගන්නට සමත් විය. යුද්ධ හමුදාවේ විශිෂ්ට රෙජිමේන්තුවක් බවට පත්වී ඇති විශේෂ බළකායද බිහිවුයේ මෙම ඒකකයට අනුබද්ධිතව වන අතර. එයද ලුතිතන් කර්නල් විජය විමලරත්නගේ යුධෝපක්‍රමයක් පළ දැරීමක්ය.
ඒකක අණදෙන නිලධාරි තනතුර දරමින් සිටියදීම 1986 අගෝස්තු මාසයේදි කර්නල් නිලයට උසස් කෙරුණු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කොළඹ ආරක්‍ෂක සේනා ආඥාපති තනතුරට පත්කරන ලදි. 1988 ජුලි මස බ්‍රිගේඩියර් නිලය දක්වා උසස්වීම් ලබන ලද්දේ සිය කුසලතාවයන් පෙන්නුම් කිරීම තුළින්ය. කොළඹ ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙසත්, ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලෙසත් කටයුතු කරමින් සිටියදි 1989 වසරේ නැවත යුද්ධ හමුදා මුලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක ලෙස පත්ව යාමට සිදුවිය. එම කාලසීමාව තුලදි රටේ පැවති අඳූරු යුගය අවසන් කරමින් මහජනතාව සුරක්‍ෂිත කිරීමට අවශ්‍ය පියවර රාශියක් ඔහු විසින් ගනු ලැබීය.
1989 වසරේ රෙජිමේන්තු සංකල්පය යුද්ධ හමුදාව තුළ ස්ථාපිතවත්ම ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම ආඥාපති තනතුරට පත් වූ බ්‍රිගේඩියර් විජය විමලරත්න ගජබා රෙජිමේන්තුවේ මතු දියුණුව උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටුකරන ලදි.
ගජබා රෙජිමේන්තු ආඥාපති තනතුර අතරතුරදීම 1991 වර්ෂයේ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති තනතුරට පත් වූ බ්‍රිගේඩියර් විජය විමලරත්න යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක එල්ටීටීඊ ත්‍රස්තවාදින්ගේ බලය විනාශකොට දමා යුද්ධ හමුදාවේ බලය තහවුරු කරගැනීමේ වගකීම භාර ගත්තේය. ත්‍රස්තවාදින් විසින් අලිමංකඩ කඳවුර හුදෙකලා කොට එම කඳවුර සහ සෙබළුන් විනාශ කිරීම සඳහා සටන් අරඹද්දි ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා එක් වූ විජය විමලරත්නයන් බලවේගය ක්‍රියාන්විතය සැලසුම් කොට ත්‍රස්තවාදින් මවිතයට පත්කරමින් ප්‍රහාර එල්ලකොට අලිමංකඩ කඳවුර හා එම සෙබළුන් ආරක්‍ෂා කරගන්නට සමත් වූහ.
ත්‍රස්තවාදින්ට එරෙහිව ක්‍රියාත්මක වු මෙම සෙන්පතියාගේ සටන්කාමිත්වය හා රණශූරත්වය යුද්ධ හමුදාවේ පමණක් නොව සමස්ත සන්නද්ධ හමුදාව තුළම ඉමහත් ගෞරවයට ද පාත්‍ර විය. එතුමන්ට රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය සහ උත්තමසේවා පදක්කම හිමි ගැන්වුයේ එම විශිෂ්ට සේවය ඇගයීමක් ලෙසය.
රටේ ස්වාධීනත්වය රැකදීම පිණිස සිය ජිවිතය පුදකළ අභිත රණවිරු මේජර් ජෙනරල් විජය විමලරත්න සෙන්පතියානන් පිළිබඳ මහත් වූ ගෞරවය හා භක්තිය ශත වර්ෂ ගණනනාවක් පුරාවටම නොනැසී පවතිනු ඇත.


