රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ (23) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති Bocuse d’Or 2023 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාව නිර්මාණ කිරීම Bocuse d’Or 2023 තරගය මගින් සිදු කෙරේ.
මෙහිදී Bocuse d’Or 2023 තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවූ බව සඳහන් වෙනවා.

ඉන්දියාවේ ඇස්තමේන්තු පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්, ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයින් වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වයක් ඇති, ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බැවින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ‘Dilmah Tea’ හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත.


