Copyrights කියන්නේ ශ්‍රී ලංකාවේ අච්චාරුවක් වෙච්ච ප්‍රශ්ණයක්. මම ලංකාවේ ජීවත්නොවුනත් මේ කතන්දර ගැන මට වැටහීමක් තියෙනවා.
ලංකාවේ සංගීත කලාකරුවෝ පහුගිය කාලයේ පුද්ගලික රූපවාහිනී නාලිකාවලට ලෝක බලපෑමක් කළා ආධුනික ගායන වැඩසටහන්වල කෙරෙන ගීත වෙනුවෙන් Copyrights වෙනුවෙන් ගෙවීමක් කරන්න කියලා. මේ බොහෝදෙනෙක් එහිදී භාවිතා කළ වචනය තමයි Copyrights. හැබැයි නියම වචනය විය යුත්තේ Royalties, නැත්නම් කතෘහාග.
කාලයක් තිස්සේ ඕනෑ තරම් විවිධාකාරයේ සංගීත වැඩසටහන්වල ප්‍රවීනයෝ සහ නවකයෝ ගීත ගායනා කළා. හැබැයි කවුරුත් කතෘභාග ඉල්ලුවේ නැහැ. නමුත් මේ සුපිරි තරු ගායන වැඩසටහන්වලින් නවකයෝ ප්‍රසිද්ධවෙන්න / ජනප්‍රියවෙන්න පටන්ගත්තාට පස්සේ තමයි ප්‍රවීන ගායන ශිල්පින් මේ මුදල් ඉල්ලන්න ගත්තේ. හැබැයි මේ ගීත නිර්මාණය කළ පද රචකයෝ සහ සංගීත ශිල්පියෝ ඉදිරියට ආවේම නැහැ.
නමුත් ගායන ශිල්පින් ටික දෙනෙක් තවත් පද රචකයින් සහ සංගීත ශිල්පින් ටික දෙනෙක් මේ උද්ඝෝෂණයට ඈඳාගත්තා. කොහොම නමුත් ටික කාලයක් ගියාට පස්සේ රූපවාහිනී මාධ්‍ය ආයතනය මේ Royalties ගෙවන්න කැමැත්තක් ප්‍රකාශ කළා. කීයක් ගෙවනවාද, කාටද ගෙවන්නේ කියන ගැටළුව ආවාට පස්සේ තමයි මේ ගායන ශිල්පීන් කුලප්පු වෙලා තමන් ගායනා කරපු ගීත ලැයිස්තු සකස්කරන්න ගත්තේ.
මට මතක හැටියට මේ කාලය තුළ බුද්ධිමය දේපළ පනතට එකතුවක් ගෙන ආවා රුපවාහිනී නාලිකාවල කෙරෙන සුපිරි තරු ගායන වැඩසටහන්වල ගායනා කෙරෙන ගීත වෙනුවෙන් යම් මුදලක් නිර්මාණකරුවන්ට ගෙවිය යුතුයි කියලා.
මේ ක්‍රියාව පත්තරවල පළවුනේ “ශ්‍රී ලංකාවේ සුපිරි තරු වැඩසටහන්වලට වැඩ වරදියි” කියල්ල. ඒ ඇයි? ගායක ගායිකාවන්ගේ ඉලක්කය වුනේ මේ ආධුනික ගායක ගායිකාවන් සහ ඒවායින් දිනා ප්‍රසිද්ධිය ලබන අය. නැද්ද?
එතන ඇත්තේ නවකයින් කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව කියා මම කියන්නේ නැහැ. ඒක වෙනමම කාරණයක්.
සමහරුන්ට මතක ඇති මම ඒ කාලයේ පටන් මේ ක්‍රියාකාරකම් ගැන මගේ පුද්ගලික අදහස් ප්‍රකාශ කළා. එහිදී මගේ අදහස වුනේ මේ ගෙවීම් ලැබිය යුත්තේ පද රචකයෝ සහ සංගීත ශිල්පින් මිසක් ගායක ගායිකාවෝ නොවේ. ඒ නිසා නිර්මාණකරුවන්ට ලැබිය යුතු මුදල් ගායක ගායිකාවෝ ඉල්ලන්න එපා කියන එක.
Copyrights ගැන හරියට දැනගමු
ගායන ශිල්පින් ප්‍රසංගවලින් ලබන ආදායමෙන් නිර්මාණ ශිල්පීන්ට කතෘභාග ගෙවන්නේ නැහැ. නමුත් මේ සුපිරි තරු වැඩසටහන්වලින් නිර්මාණකරුවන්ට ගෙවිය යුතු මුදලෙන් කොටසක් ඉල්ලා ගායන ශිල්පින් සටන්කිරීම නොහොඹිනා වාදක කියලා මම ප්‍රසිද්ධියේම කිව්වා.
ඒ වගේම මම යෝජනවාක් කළා ගායන ශිල්පින් ලබන ආදායමෙන් 30%ක් පද රචකයාට සහ සංගීත ශිල්පියාට 15%ක් බැගින් ගෙවන්න. 70%ක් තමන් තියාගන්න කියලා. මාව පුද්ගලිකව දන්නා සහ නොදන්නා ලංකාවේ ගායන ශිල්පින් බොහෝ දෙනෙක් මේකට කලබල වෙලා තිබුනා.
මම නීතිඥයෙක් නොවුනත් බුද්ධිමය දේපළ හිමිකම් ගැන මට වැටහීමක් සහ ප්‍රයෝගික අත්දැකීමක් තියෙන නිසා මම ලංකාවේ කලා නිර්මාණකරුවන් වෙනුවෙන් බොහෝ යෝජනා කළා.
කාලයක් ගියා… තවමත් මේ වැඩේ එහෙට මෙහෙට ඇදෙනවා. ගායන ශිල්පින් තමන්ගේ ගීත නිර්මාණකරුවන්ට කතෘභාග ගෙවීම පැහැරහැරලා දැන් ගීතයේ බුද්ධිමය දේපළ හිමිකම් ඇති නිර්මාණ ශිල්පීන්ට බලපෑම් කරනවා ගීතයේ නෛතික (නීතිමය) අයිතීන් කොටසක් ගායන ශිල්පීන්ට දෙන්න කියලා.
මේක කෙසේවත් නොකළ යුතු වැඩක්. ලෝකයේ කොහේවත් මෙහෙම දේවල්වෙන්නේ නැහැ. ගෙයක් කුලියට හෝ බද්දට ගන්න කෙනෙක් කිව්වොත් තමන්ගේ මේ ඉඩමේ කොටසක් තමාටත් ඔප්පුවකින් ලියලා දෙන්න කියලා කොහොම තත්ත්වයක් ඇතිවෙයිද.
ලංකාවේ මේ Copyrights කතන්දරයේදී ඉතා අලසව, නොදැනුවත්ව සහ බුද්ධිමත් නොවන ආකාරයෙන් කටයුතුකරන්නේ පද රචකයෝ සහ සංගීත ශිල්පියෝ. ඒ ගැන මම ප්‍රසිද්ධියේම කියනවා.
ලංකාවේ ගී පද රචකයින්ගේ සංගමය සහ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමය බිහිකරන්නේ ගායක ගායිකා සංගමයේ හිටපු සභාපතිවරයා. දැනටත් ඒ සංගම් දෙකේ Advisor කෙනෙක් හැටියට ඒ සංගම් දෙක මෙහෙයවන්නේ ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති.
තමන්ගේම කියා සංගමයක් බිහිකරගන්න සහ ඉදිරියට ගෙන යන්න ලංකාවේ පද රචකයින්ට සහ සංගීත අධ්‍යක්ෂවරුන්ට හැකියාවක් නැහැ. ඒකෙන්ම තේරෙනවානේ මෙතන මොකක් හෝ අඩුවක් සහ වැරද්දක් තියෙනවා කියලා.
මේ සංගම් සියල්ල මම දකින්නේ සුබසාධක සංගම් හෝ මරණාධාර සමිති හැටියට මිසක් වෘත්තීය සමිති හැටියට නොවේ. වෘත්තීය සමිතියක් නම් තමන්ගේ ක්ෂේත්‍රයේ සහ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. හොඳට වෙළඳපොලක් නිර්මාණය කරන්න සහ එය නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්න පුළුවන්වෙන්න ඕනෑ. මම එහෙම දේවල් දකින්නේ නැහැ.
ඇමරිකාවේ Copyrights ගැන, ගායක ගායිකාවෝ හෝ නිර්මාණකරුවෝ ප්‍රසිද්ධියේ වැලපෙන්නේ නැහැ.
උපුල් ශාන්ත සන්නස්ගල ලංකාවේ සිටින දක්ෂ ගීත පද රචකයෙක් සහ නිෂ්පාදකයෙක්. උපුල් මේ Copyrights ගැන, තමන්ට නොලැබුන ආර්ථික ප්‍රතිලාභ ගැන ප්‍රසිද්ධියේ කතාකරනවා. සරලවම කිව්වොත් උපුල් සද්දේ දානවා. මොනවා වුනත් ඒ ක්‍රියාව මම අගය කරනවා. තමන්ගේ අදහස්, චෝදනා සහ යෝජනා ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළාම කතිකාවක් ගොඩනැගෙනවා.
කොහොම නමුත් උපුල් ප්‍රසිද්ධියේම කියනවා මම නිර්මාණකළේ මුදල් බලාගෙන නොවේ. මේ Copyrights ගැන මමත් හරියට දන්නේ නැහැ කියලා. මම විශ්වාස කරනවා ඔහු එතැනදී අවංකයි සහ විවෘතයි කියලා.
මේ Copyrights ගැන කතිකා කරන්න උපුල් කාලෙන් කාලෙට එක එක කොල්ලෝ කුරුට්ටෝ ගෙනල්ලා තමා නොදන්නා දේ ගැන අහනවා. ඒවා ප්‍රසිද්ධියේ පළකරලා වෙනත් අයවද දැනුවත් කරන්න උත්සාහ කරනවා.
මේ වැඩසටහන් සඳහා කළිඳු වීරසිංහ (රෝහණ වීරසිංහගේ පුතා) සහ හර්ෂ බුලත්සිංහල (ලූෂන් බුලත්සින්හලගේ පුතා) වැඩසටහන් දෙකක් වෙනුවෙන් වෙන් වෙන්ව ගෙන්වා තිබුනා. මට ඒ දෙකම අහන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. මේ දෙදෙනාම මේ Copyrights විෂය කාරණය ගැන හොඳ දැනුමක් සහ වැටහීමක් තියෙන දෙන්නෙක්.
ඒ හැර උපුල් තමා නොදන්නා දේ ගැන අහන්න සහ දැනගත්ත ගෙන්වාගත් අනිත් අය මොනවාද කිව්වේ, මොනවාද ඇහැව්වේ, මොනවාද දැනගත්තේ? මම දැක්ක හැටියට නම් කාලය අපතේ යැවීමක් සහ මිනිසුන් නොමග යැවීමක් සිදුවුනා.
කාලෙට කලින් මරියසෙල්ගේ හිතවතෙක් කියා කෙනෙක් ගෙන්වාගෙන උපුල් යොහානිගේ ජනප්‍රිය ගීතයේ Copyrights කාටද කියන මාතෘකාව යටතේ ප්‍රශ්න කරනවා. උපුල් එකක් අහනවා, ඒ කොල්ලා තව එකක් කියනවා. ඔහේ මොනවා හරි කියලා එදා කාලය නාස්ති කළා.
පසුගියදා සංඛ දිනෙත්ගේ Social Media කරන කෙනා කියලා තරුණයෙක් ගෙනාවා. අනේ මේ කොලුවා පට්ට බොරු කියවනවා. එක අවස්ථාවක කියනවා ගීතයක පද රචකයා උපුල් ලෙසත්, සංගීතය සංඛ ලෙසත් සඳහන් කරලා තියෙන නිසා දෙන්නාට 50 / 50 අයිතිය තියෙනවා කියලා. එතකොට Producer සහ Publisher දෙන්නාට කොටසක් නැද්ද? ගායකයාට ගීතයේ Royalty නැද්ද? තව තැනක තියෙනවා එක ගීතයක නම සඳහන්ව ඇත්තේ රෝහණ වීරසිංහ පමණක් නිසා 100%ක් රෝහණට හිමිකම් තියෙනවා උපුල්ට නැහැ කියලා. තව අවස්ථාවක කියනවා ඒවා Upload කරලා තියෙන්නේ Torana නිසා 100%ක් එම සමාගමට අයිතියි කියලා. මොන බොරු කතන්දරද මේ. මේවායින් මිනිස්සු නොමග යනවා. වැරදි දේ ජනගතවෙනවා.
උපුල් ඒවා අහනවා. පිළිගන්නවා. ඒවා අහලා උපුල් ටොරානා එකට, රෝහණ වීරසිංහට ප්‍රසිද්ධියේ චෝදනාත්මකව දැනුවත්කිරීම් කරනවා. පද රචකයෙකු ලෙස කෙසේ වෙතත් නිෂ්පාදකයෙකු ලෙස උපුල්ට ඇති අයිතිය සහ තමන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ගැන උපුල් දන්නේ නැහැ.
ඒ කොහොම නමුත් ඊයේ පෙරේදා මේ ෂේන් ගෙන්වලා තවත් කතන්දර ගොඩාක් අහගත්තා. මෙතනත් මාතෘකාව රූපවාහිනියේ ආධුනික ගායනා තරඟවල මුදල් ගණුදෙනු ගැන. තමන්ගේ නිර්මාණයක් අවභාවිතා කළා කියලා සිරස Youtube Channel එකට ප්‍රහාරයක් එල්ල කළා කියන එක මහා ලොකු වීර ක්‍රියාවක් නොවේ. ඒක හරියට පාරේ යන බල්ලෙකුට ගලකින් ගැහුවා වගේ වැඩක්. එහම් නැත්නම් පාරේ යන පොලිස් නිලධාරියෙකුට ගලකින් ගැහුවා වගේ වැඩක්.
කොච්චර ගල් ගැහුවත් බල්ලා බුරනවා. නීතිය ක්‍රියාත්මකකරන්නේ පොලිසිය නිසා රාජකාරියට බාධාකළා කියන නඩු වැටෙන්න හෝ Black List වෙන්න පුළුවන්. කරන්න ඕනෑ හරි දේ හරි විදිහට මිසක් ඔය වගේ දේවල් නොවේ.
කට්ටියට මතක ඇතිනේ කොවිඩ් වසංගත කාලේ හැමෝටම ආදායම් නැතිවුනා. ඒ කාලේ කලාකරුවෝ මාධ්‍ය රැස්වීම් තියලා ආණ්ඩුවෙන් ඉල්ලීම් කළානේ සහනදෙන්න කියලා. කලාකරුවෝ ආදායම් බදු ගෙවනවාද?
ඇමරිකාවේ නම් හැමෝම බදු ගෙවිය යුතු නිසා ආණ්ඩුවට යම් ආදායමක් තියෙනවා. මේ නිසා කොවිඩ් කාලයේ බදු ගෙවපු හැමෝටම මාසික පඩියට ආසන්න මුදලක් ආණ්ඩුවෙන් ලැබුනා. වැඩට නොආවත් සමහර ආයතන සේවකයින්ට සම්පූර්ණ පඩිය හෝ පඩියෙන් කොටසක් ගෙව්වා. ඒ වගේ ප්‍රජා සංවිධාන / සුබසාධක සංගම් බොහෝ මිනිස්සුන්ට සති දෙකකට හෝ මාසෙකට සරිලන ආහාර පාන පෙට්ටියක් නොමිළේ ලබාදුන්නා. මේ කාලය තුළ බොහෝ අයට තමාගේ මාසික පඩිය වගේ දෙතුන් ගුණයක් ලැබුනා.
මට මතකයි ෂේන් ඔය කාලයේ ෆේස්බුක් ඇවිත් ගායන ශිල්පීන්ට චෝදනා කළා ලංකාවේ ගායක ගායිකාවන්ට කොන්ද පණ නැහැ කියලා. ඒ වගේම ඔහු කිව්වා පිටරටවල්වල වගේ ලංකාවේ Celebritiesලා නැහැ. ඒ අයට අත දිගහැරලා වියදම් කරන්න සල්ලි නැහැ කියලා.
Celebrities කියලා කියන්නේ රටේ ලෝකයේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය පුද්ගලයින්ට මිසක් සල්ලි වැඩියෙන් තියෙන මිනිස්සුන්ට කියලා මේ මනුස්සයා දැන්වත් දන්නවාද දන්නේ නැහැ.
ඒ කොහොම නමුත් මෙයා ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරනවා.. අනේ ඉරාජ්, අනේ භාතිය- සන්තුෂ්, ඔයාල ගෝඨාභය එක්ක සමීප සම්බන්ධකම් තියෙන නිසා ගිහින් කියන්නකෝ මේ කන්න බොන්න නැති, ආදායමක් නැති ගායන ශිල්පීන්ට / කලාකරුවන්ට ආධාරයක් කරන්න කියලා.
එහෙම කෙනෙක් තමයි මේද උපුල් සමග කතන්දර කියන්නේ. මම මේ වැඩසටහන ටිකක් නැරඹුවා.
විදේශයන්හි බිහිවුන රියැලිටි වැඩසටහන් වෙනත් රටවල්වලට දෙද්දී විවිධාකාරයේ ගිවිසුම් සහ කොන්දේසි ක්‍රියාත්මකවෙනවා. ඒවා පොදු දේවල් නොවන නිසා පුද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මකවෙනවා. බාහිර අපි දන්නේ නැහැ. නමුත් ලෝකයේ ඕනෑම දෙයකට සම්මත නීති තියෙනවා. මේ සංගීතමය ක්‍රියාකාරකම් සඳහාද ඒ පොදු නීති බලපානවා.
ලංකාවේ ගායක ගායිකාවෝ සහ සංගීත කණ්ඩායමක් ලංකාවේ සංගීත නිර්මාණ ශිල්පීන්ට කතෘභාග ගෙවන්නේ නැහැ. මම අහලා තියෙනවා ජිප්සීස් සුනිල් සහ මේරියන්ස් නලින් නිර්මාණකරුවන්ට වරින්වර කතෘභාගගෙවනවා කියලා.
ලංකාවේ බුද්ධිමය දේපළ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවන බව මම විශ්වාසකරනවා. මම ලංකාවට ගිය අවස්ථාවක ප්‍රකාශන හිමිකම් සමාගමට ගොස් මේ ගැන විමසීමක් කළා.
ඇමරිකාවේ මේ වැඩේ හරි පහසුයි. රටේ නීතියක් තියෙනවා. ඒ නීතියේ පිහිට පතන්න ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් පහසුකම් සලසා තියෙනවා. අකටයුත්තක් වෙලා තියෙනවා නම් ඒ වෙනුවෙන් වන්දි ලබාගන්න පුළුවන්කම තියෙනවා.
ලංකාවේ කලාකරුවෝ තමන්ගේ අනන්‍යතාවය තහවුරුකරගන්නේ නැහැ, තමන්ගේ නිර්මාණ ලියාපදිංචි කරන්නේ නැහැ. මේ නිසා ගීත නිර්මාණයක බුද්ධිමය දේපළ අයිතිය ඇත්තේ කාටද කියා හොයාගැනීම ගැටළුවක්.
ඔය ෂේන් කළා වගේ හෝ වෙනත් සමහරුන් කරන්න වගේ ජනමාධ්‍යවල සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රහාර එල්ල කළා කියලා තමන්ට ලැබිය යුතු කතෘභාග ලැබෙන්නේ නැහැ. ඒකට යම් ක්‍රමවේදයක් උවමනායි. ලංකාවේ එහෙම ක්‍රමවේදයක් නැහැ.
මුල් කාලයේ උපුල්ගේ කලා නිර්මාණ සහ කලා ක්‍රියාකාරකම් කරන්න කලා ලෝකයේ බොහෝ දෙනෙක් බාධා කළා. උපුල්ව අවහිර කළා. උපුල්ව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා තමයි කට්ට කාලා, මිනිස්සුන්ව හඳුනාගෙන, තමන් ටියුෂන්පන්තිවලින් උපයපු මුදල් තමන්ගේම කලා නිර්මාණ නිෂ්පාදනය කළේ.
උපුල් මිනිස්සුන්ව දන්නවා. මිනිස්සු උපුල්ව දන්නවා. උපුල් Phoenix පරවියා වගේ චරිතයක්. උපුල් ඉන්න තැන උපුල් දන්නවා. ඒ නිසා උපුල්ට පුළුවන් තුරුම්පු අතේ තියාගෙන ගේමක් ගහන්න. ජීවිතේ කට්ට කාපු අයට ඇරියස් තියෙනවා. ඒ නිසා ලෝකය සහ ජීවිතය දෙස වෙනස් විදිහට දකින්න පුළුවන්. ඉඳලා හිටලා සමහරුන්ට කින්ඩිය දාන්නත් පුළුවන්.
මම විශ්වාස කරනවා වෙනත් කලාකරුවෝ වගේ උපුලුත් මේ Copyrights කතන්දරේ ගැන හරියටම දන්නේ නැහැ. ඒ සඳහා නියම දායකත්වයක් ලබාගෙන නැහැ කියලා. උපුල් මේ විෂය කරුණ ගැන සහ නීතිමය කාරණය ගැන ප්‍රසිද්ධියේ කතාබහ කිරීම හොඳයි. නමුත් උපුල් මේ හදන වටපිටාව උපුල්ට නීතිමය වශයෙන් ලබාගන්න පුළුවන් වාසියකට වඩා උපුල්ට විනෝදය ගෙනදෙන්නක් සහ මම කලින් කිව්වා වගේ උපුල් තුරුම්පු අතේ තියාගෙන ගේමක් ගගහා සමහරුන්ට කින්ඩිය දානවා වගේ කියලාත් මම වෙලාවකට හිතෙනවා.
උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ මම පුද්ගලිකව ඉතා කැමති නිර්මාණකරුවෙක්. මම දන්නා ඔහුගේ ජීවිත කතාවලින් මිනිස්සුන්ට බොහෝ දේවල ඉගෙනගන්න පුළුවන්. මොන බාධක ආවත් තමන්ට උවමනා දේ, තමන් ආසා දේ කරගන්න පුළුවන් නම් Happy Ending තමයි.
මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි උපුල් තමන්ගේ නිර්මාණ හැකියාව ගැන විශ්වාසයක් තිබුනත් තමන්ගේ අගය සහ බලය වගේම තමන්ගේ හිමිකම ගැන නොදන්නා කෙනෙක් කියලා.
මේ කොල්ලෝ කුරුට්ටෝ ගෙන්නලා එක එක කතන්දර කියවලා ආතල්ගන්නවා වෙනුවට මේ Copyrights ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳගන්න හොඳ මැදිහත්කරුවෙක්වෙන්න උපුල්ට පුළුවන්.
කලාකරුවෝ නිර්මාණකරණයේ යෙදෙන්න ඕනෑ. නීති සම්පාදනය කරන සහ නීතිය ක්‍රියාත්මකකරන අය ඒ දේ කරන්න ඕනෑ. කලාකරුවන්ට ඕනෑ විදිහට නීතිය නවන්න බැහැ. අර ඇමති සහ මේ ඇමති පස්සේ ගිහින් තමන්ගේ වාසියට රටේ නීතිය වෙනස්කරන්න බැහැ.
කලාකරුවෝ හොඳ නිර්මාණකරන්න, තමන්ගේ අයිතිවාසිකම් තහවුරුකරගන්න. ඒ වගේම තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකරන්න. තමන්ගේ අයිතිය සහ අයිතිවාසිකම ගැන වගේම සහෝදර නිර්මාණකරුවන්ගේ අයිතිය සහ අයිතිවාසිකම ගැනත් හිතන්න.
කලාකරුවෝ නිර්මාණකරණයෙන් තරඟකාරීවෙන්න ඕනෑ. හැබැයි හැමෝම එක ක්ෂේත්‍රයේ එකට ඉන්න ඕනෑ ඔය කුලල්කාගැනීම්වලින් තොරව. හොඳ නිර්මාණ බිහිකරන්න සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න හැම කලාකරුවෙක්ම හිතට ගන්න ඕනෑ.
ලංකාව කියන්නේ පුංචි දූපතක්. ඒ නිසා තමයි කවුරු හරි ඉන්දියාවට ගියත් ජාත්‍යන්තරය ජයගත්තා කියලා මොරදෙන්න. ලංකාව කියන්නේ ඉන්දියාවේ වහල් දූපත. ලංකාවේ කලාකරුවෝ ඉන්දියානු නිර්මාණ ප්‍රතිනිර්මාණය කරපු හැටියට ඉන්දියාව වන්දි ඉල්ලලා නඩු දැම්මා නම් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වෙනවා.
ඉන්දියාව කියන්නේ ලෝකය නොවේ. ඉන්දියාව ලංකාවට, ලංකාවේ ව්‍යාපාරවලට, ලංකාවේ නිර්මාණකරුවන්ට ගෝලීය මට්ටමට යන්න දෙන්නේ නැහැ. මම ඇමරිකාවේ ජීවත්වෙන නිසා මට ඒ ගැන පුද්ගලික අත්දැකීම් තියෙනවා. ඔවුන් මෙහෙ කරන කියන දේ ගැන මම දන්නවා.
ලංකාවේ මිනිස්සු ලංකාව හැටියට ලෝකය දකින්න සහ ලෝකයට යන්න මග පාදගන්න ඕනෑ. ගෝලීයකරණය කියන්නේ වර්තමානයේ සරල සහ පහසු දෙයක්. ආදී කාලයේ වගේ නොවේ ඕනෑ තරම් අවස්ථා බිහිවෙලා තියෙනවා, පහසුකම් ඇති කරලා තියෙනවා. ලංකාවේ අගනා නිර්මාණ බිහිකරන කලාකරුවෝ බොහොමයක් ඉන්නවා. ඒ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තර විදිහට ඒවා ප්‍රදර්ශනය කරන්න සහ ඉදිරිපත්කරන්න ඕනෑ.
මම ජීවත්වෙන්නේ, රැකියාව සහ ව්‍යාපාරික කටයුතු කරන්නේ “The Wedding Capital of the World” සහ “The Entertainment Capital of the World” කියා හඳුන්වන ඇමරිකාවේ ලාස් වේගස් නගරයේ. මෙය දිනපතා විශාල සංචාරකයින් ප්‍රමාණයක් එන නගරයක්. දැන් මේ නගරය වෙළඳ ප්‍රදර්ශන / සම්මන්ත්‍රණවලට අමතරව ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා ඉසව් පවත්වන නගරයක් බවට පත්කරමින් තියෙනවා.
ලාස් වේගස් නගරයේ සංගීත ප්‍රසංග සඳහා ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ නිතරම යනවා එනවා. බොහෝ දෙනෙක් දිගුකාලීනව නැවතී ප්‍රසංග පවත්වනවා. ඇමරිකාවේ Copyrights ගැන ගායක ගායිකාවෝ හෝ නිර්මාණකරුවෝ ප්‍රසිද්ධියේ වැලපෙන්නේ නැහැ. තමන් කළ යුතු දේ හරියට කරනවා. යාම අකටයුත්තක් වුනොත් නීතියේ පිළිසරණ පතනවා. නීතියේ පිහිට ඔවුන්ට ලැබෙනවා.

එහෙම නැතුව එක එක නාලිකාවලට බනින්නේ හෝ Youtube නාලිකාවලට ප්‍රහාර එල්ලකරන්නේ නැහැ. තමන්ගේ ගීතයක් වෙනත් කෙනෙකුට ගයන්න අවස්ථාව දුන්නා කියලා ගායිකාවන්ගේ සැමියන් ඒ ගීත නිර්මාණය කරපු සංගීත ශිල්පියාට මහළු ගාන්ධර්වයා කියලා දොස්පවරන්නේ නැහැ. නිර්මාණකරුවන්ට හෝ ආධුනිකයින්ට කුණුහරුපෙන් බනින්නේ නැහැ.
: ඔස්කා නෝනිස් (Oscar Nonis)