රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින්.
මෙම උත්සවය ඊයේ (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යාම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බවයි.
එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා අවධාරණය කර සිටියා.
එසේම රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
තවද ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත්වීම මෙන්ම ඉන්දියාව සමග පවතින සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ජයග්‍රහණ ලබාගත් සියලුම රාජ්‍ය ආයතනවලට සුබපැතුම් එක් කළ අතර 2015 වසරට වඩා අද වන විට රාජ්‍ය ආයතනවල සියයට 98කට වැඩි ප්‍රමාණයක විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බව පැවසුවා.
මෙහිදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර, ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම් අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.
ඒ අනුව, රාජ්‍ය ආයතන 833 ක් ඇගයීමට ලක් වූ අතර, 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන ද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන බැගින් සමස්ත සම්මාන 90 ක් පිරිනැමීම මෙහිදී සිදුකෙරුණා.
රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ සම්මාන පිරිනැමීම ජනපති අතින් සිදුවිය.


