අදට (05) යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝහෝ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අභියෝගකාරි අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයා පවසනවා.
අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ වදාල පරිදි සමගියෙන් සහ විශ්වාසයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවිඩය පහතින් දැක්වේ,
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලත් වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ දින දර්ශනයේ වඩාත් වැදගත් දිනයක් වන අතර එය පූජනීය වැදගත්කමකින් යුක්ත වේ.
මෙම දිනය අසිරිමත් සිදුහත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් මංගල්‍යයන් සිහිපත් කරන අතර මනුෂ්‍යත්වය පෙරදැරි කර ගනිමින් හා මෛත්‍රී සංකල්පයෙන් යුතුව දානමය පුණ්‍යකර්මයන් පවත්වමින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ගෞරවය පුද කරන අවස්ථාවකි.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. එබැවින් මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය වේ. බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය (මෙත්තා), කාරුණිකබව (කරුණා), මෘදුබව (මුදිතා) සහ උපේක්ෂා සහගතබව (උපේක්ඛා) යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් අප එම මාර්ගයේ ගමන් කළ යුතු වෙමු.
ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස මෙම පිංබර දිනයේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමි.
අවිද්‍යාවේ අඳුර දුරුකර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශිර්වාදයක් වේවා ! යි ප්‍රාර්ථනා කරන අතර සියලු සත්වයෝ සතුටින් පසුවන පිංබර වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශිංසනය කරමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති


