Thursday, July 23, 2026
Homeදේශීයප්‍රධාන රෝහලක හදිසි සැත්කම් නවතී

ප්‍රධාන රෝහලක හදිසි සැත්කම් නවතී

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කර ඇත.

ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු කර එවන බව දන්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ අතර, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසා අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් සිදුකළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින්නැයි ද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් ද කර ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් එවීමෙන් ද වළකින්නැයි වෛද්‍ය බණ්ඩාර එම අධ්‍යක්ෂවරුන් වෙත යැවූ ලිපියෙන් ඉල්ලා තිබේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චන්දන කරුණාරත්න ඉකුත් සතියේ එක්සත් රාජධානිය බලා ගොස් ඇත්තේ එහි වෛද්‍යවරයෙකු ලෙස රැකියාව ලැබීම හේතුවෙනි.

අනතුරුව එම තනතුරට තාවකාලිකව අනුයුක්ත කරනු ලැබුයේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට එක්සත් රාජධානිය බලා යාමේ බලාපොරොත්තුවෙන් සිටි වෛද්‍යවරියකි.

ඇය ද එම පුහුණුව සඳහා පසුගිය දා පිටව ගොස් ඇත. මේ හේතුවෙන් අද වන විට එම රෝහලේ සුදුසුකම් ලත් නිර්වින්දන වෛද්‍යවරුන් කිසි‍වකුත් නොමැත.

සුදුසුකම් ලත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති රෝහලක සැත්කම් කළ නොහැකිවාක් මෙන්ම දැඩි සත්කාර ඒකකයක් ද පවත්වාගෙන යා නොහැකි ය.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මේ දිනවල අවුරුදු සමයේ සිදුවන විවිධ අනතුරු හේතුවෙන් ගෙන එන සැත්කම් කළ යුතු තත්ත්වයේ සිටින රෝගීන් හා තුවාලකරුවන් සියලු දෙනා ආසන්න රෝහල්වලට මාරු කර යවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම – මව් බිම පුවත්පත

READ:   දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්