
“අවුරුදු තුනත් ඉවර වෙන්න ළඟයි. ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාව තාමත් නැහැ. යන්න ඕන හැමතැනටම ගියා. කියන්න ඕන හැම කෙනෙකුටම කිව්වා. මෙච්චර කාලයක් මහත්තයාගේ පඩිය නැතිව ජීවත් වෙන්නේ. ඉස්සරහට මේ දරු පැටවු තුන්දෙනා එක්ක කොහොම ජීවත් වෙන්න ද කියල මට හිතාගන්න බෑ.”
සිය දියණියන් තිදෙනාට අහිමි වූ පිය සෙනෙහසේ හිදැස පිරවීමට වෙරදරන නිරූපා රණවීර එසේ තම දුක්ගැනවිල්ල මාධ්‍යයට කියා සිටියේ පොලිසියේ සේවයේ යෙදී සිටියදී වසර 3 කට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටින බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධන යන අයගේ බවට සැක කෙරෙන අස්ථි කොටස්වල ඩීඑන්ඒ වාර්තා මේ වන තෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව සොයා බැලීමට පුත්තලමට පැමිණි අවස්ථාවේය. නිරූපා රණවීරගේ ගම රත්නපුර අයගම ප්‍රදේශයේය. ඇය වයස අවුරුදු 4, 8 ,12 දියණියන් තිදෙනකුගේ මවකි. ඇයගේ සැමියා පොලිස් සැරයන් (39288) බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධනය.
සුමිත් අබේවර්ධන කුරුවිට පොලිස්ථානයට අනුයුක්තව සිරිපාගම මාර්ග බාධකයේ සේවය කරමින් සිටියදී 2020 වසරේ ඔක්තෝබර් 29 දින අතුරුදහන් විය.
ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධව කුරුවිට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් දිගින් දිගටම සිදු කළ විමර්ශන කටයුතු සිදු කිරීමේදී 2001 ජූලි මස 29 වෙනි දින ප්‍රදේශවාසියකු විසින් මුන්දලම පොලිසිය සිදුකළට පැමිණිල්ලකට අනුව මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී 9 එම්. එම්. වර්ගයේ ගිනි අවියක්, එයට යොදන පතොරම් 7 ක්, මිනිස් අස්ථි කොටස් කිහිපයක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පතක් හා රියදුරු බලපත්‍රයක් තිබී හමුවිය. මෙම සිද්ධිය මාධ්‍ය තුළින් වාර්තාවීමත් සමඟ අතුරුදහන්ව ඇති පොලිස් සැරයන්වරයාගේ බිරිය වන නිරූපා රණවීර හා ඥාතින් පිරිසක් මදුරන්කුලිය සෙම්බැට්ට ඉඩමට පැමිණ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත හා රියැදුරු බලපත්‍රය ඔහුට අයත් බවට හඳුනා ගත්තාය. ඉන් අනතුරුව අස්ථි කොටස් හා පිස්තෝලය රස පරීක්ෂක වෙත යොමු කර ඩීඑන්ඒ වාර්තා ලබා ගැනීම සඳහා ඉදිරි ඉදිරිපත් කරන ලදී.
රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු හමුවූ පිස්තෝලය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එකක් බව තහවුරු කරමින් වාර්තා එවා ඇති බවත් අස්ථි කොටස්වල වාර්තා තවමත් නොලැබුණ බව මුන්දලම පොලිසිය සඳහන් කරයි.
ඩීඑන්ඒ වාර්තාව නිකුත් නොකිරීම හේතුවෙන් වසර දෙකහමාරක කාලයක් තම සැමියාගේ වැටුප ද අහිමිවීම නිසා මහත් අසීරුතාවකින් දියණියන් තිදෙනා සමඟ ජීවත්වන අතුරුදහන් වූ පොලිස් නිලධාරියාගේ බිරිය නිරූපා රණවීර මෙසේ කීවාය.
“මගේ මහත්තයාට සියදිවි හානිකර ගන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. එයා හොඳට රාජකාරි කරපු කෙනෙක්. මටයි, දරුවන්ටයි පුදුම ආදරයක් තිබුණේ. නිෙවසේ කොටසක් පවා ඉදිකර තිබුණේ. එහෙම කෙනකුට මොකටද ජීවිතය එපා වෙන්නේ. මොකද ගෙදර ප්‍රශ්න නැති කෙනා ජීවිතය නසාගන්න යන්නේ නැහැ.
මෙය ඝාතනයක්. මේ අස්ථි කොටස් මහත්තයාගේ බවට මට විශ්වාසයි. ඇයි මහත්තයෝ මේ වාර්තා දෙන්න අවුරුදු ගණන් යන්නේ. අපි පුංචි මිනිස්සු හින්ද ද? පොලිසියේ අවුරුදු 20ක් රාජකාරිය කරපු මගෙ මහත්තයගෙ ඩීඑන්ඒ වාර්තා ඇයි තවත් එවන්නෙ නැත්තෙ. මම ඉල්ලා සිටින්නේ ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න කියලා.”
මිහිර විජේසේකර – මාරවිල සමූහ
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත


